Breaking News
Home / Gossip / 2007 මොරගහකන්දට මුල්ගල් තිබ්බ මෛත්‍රීට වෙච්ච දේ (ඇත්ත කතාව)

2007 මොරගහකන්දට මුල්ගල් තිබ්බ මෛත්‍රීට වෙච්ච දේ (ඇත්ත කතාව)

මහවැලි යෝජනා ක්‍රමයේ විශාලම ව්‍යාපෘතිය වූ මොරගහකන්ද, කළුගඟ ව්‍යාපාරය ජීවමාන යථාර්ථයක් බවට පත් කරගන්නට බලයේ සිටි ආණ්ඩුවල විවිධ කෙනෙහිලිකම් මැද ගෙන ගිය අරගලය පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (23දා) පැවැති විශේෂ සාකච්ඡාවකදී පැවැසීය.

අති විශාල ජනකායක් මැද මොරගහකන්ද ව්‍යාපාරයට මුල් ගල් තබා දින දෙකකින් මහවැලි අමාත්‍යාංශය තමාගෙන් ගලවා චමල් රාජපක්ෂට දෙන්නට මහින්ද හා බැසිල් කුමන්ත්‍රණය කළ ආකාරයද ජනපතිවරයා එහිදී හෙළි කළේය.

ජලය සඳහා රජරට ගොවීන් මිනීමරා ගන්නා අන්දමත්, පානීය ජලය නැතිව ජනතාව හෙළන දුක් කඳුළුත් කුඩා වියේ සිටම දැක ඇති තමා ඊට ඇති එකම විකල්පය මොරගහකන්ද ව්‍යාපාරය බව නිසැක ලෙස දැන ඒ වෙනුවෙන් අප්‍රතිහත ධෛර්යයෙන් සටන් වැදුණු අයුරු ජනපති විස්තර කළේය.
මහවැලිය නිසා ගාමිණී දිසානායකගේ ප්‍රතිරූපය ගොඩනැඟීම ගැන ජනාධිපති ප්‍රේමදාස මහතා බියවූවා සේම මහවැලිය නිසා තමාද බැබළෙනු ඇතැයි මහින්ද රාජපක්ෂ මහතා බියවූ බැවින් මොරගහකන්ද ව්‍යාපාරයට අකුල් හෙළුෑ බව ජනාධිපති සිරිසේන මහතා පැවැසීය.
රජරට ජනතාවගේ පවස නිවන මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය ත්‍රිකුණාමලය දක්වා ජලය ගෙනයමින් නුදුරු අනාගතයේදීම කන්න තුනක් ගොවිතැන් කරන්න ජලය දෙනු ඇතැයිද හෙතෙම එහිදී අනාවරණය කළේය.

ජනාධිපති නිල නිවෙසේදී මොරගහකන්ද, කළුගඟ ව්‍යාපෘතිය පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ පැවැත්වූ සම්පූර්ණ සාකච්ඡාව මෙසේය.

 ලංකාවේ බහුකාර්ය යෝජනා ක්‍රම අතර මොරගහකන්ද කළුගඟ ව්‍යාපාරයට හිමි ස්ථානය කුමක්ද?

මහවැලි මහා සැලැස්මේ වැඩිම ආයෝජනයක් සහිත යෝජනා ක්‍රමය තමයි මොරගහකන්ද. 1969දී ඩඩ්ලි සේනානායක අගමැතිතුමාගෙ කාලෙ තමයි පළමු මහවැලි සංවර්ධන ඇමැති හැටියට සී.පී. ද සිල්වා පත්වුණේ. ප්‍රධාන ව්‍යාපෘතිය වුණේ පොල්ගොල්ල වේල්ල. මහවැලි ගඟ උතුරට හරවන්න පොල්ගොල්ල වේල්ලට එදා මුල්ගල තිබ්බා. 1976 සිරිමා බණ්ඩාරනායක අගමැතිනියගෙ මහවැලි ඇමැති වුණේ මෛත්‍රිපාල සේනානායක. එතුමා තමයි වේල්ල හදල 1976 ජනවාරි 8 ගඟ හැරෙව්වේ. මහවැලි ගීතය හැදුවේ ඒ උත්සවයටයි. අමරදේව මහතා එදා මහවැලි ගීතය ගායනා කළා.

 1977 ජේ.ආර්. ජයවර්ධන මහතා ජනාධිපති වීමත් සමඟ මහවැලි ව්‍යාපාරය එක්සත් ජාතික පක්ෂය භාර ගත්තා.

ඔව්. විවෘත ආර්ථික ක්‍රමය ඔවුන් රටට හඳුන්වා දුන්නා. ඒ යටතෙ කර්මාන්ත ක්ෂේත්‍රය නැංවීමට විදුලිය අවශ්‍ය වුණා. එහිදී ඔවුන් කෘෂිකර්මය මූලික කරගත් මහවැලිය වෙනුවට කඩිනම් මහවැලිය නමින් විදුලි යෝජනා ක්‍රම ඉලක්ක කරගත් වික්ටෝරියා, මාදුරුඔය, රන්දෙණිගල, කොත්මලේ, රන්ටැඹේ වැනි පංච මහා ජලාශ ඇති කළා.

 ඇයි එදා මොරගහකන්ද, කළුගඟ ව්‍යාපෘතියට අවධානය යොමු නොවුණේ.

ඒකට ප්‍රධාන හේතුව වුණේ මොරගහකන්ද කෘෂිකර්මාන්තයට, උතුරු පළාතට ජලය සපයන ව්‍යාපෘතියක් වීම. එය තමයි මහවැලියේ ප්‍රධාන ඉලක්කය. නැඟෙනහිරට ගලන මහවැලි ගඟ උතුරට හැරවීම.

 මහවැලි ගංගාව උතුරට හැරවීම ගැන රාජ්‍ය මන්ත්‍රණ සභා අවධියේ සිටම කතා කර තිබුණා.

ඔව්. මාතර ‍එස්.ඒ. වික්‍රමසිංහ මහතා රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ 1930 දශකයේ මේ අදහස් ඉදිරිපත් කර තිබුණා. 1940 දශකයෙත් මේ ගැන කතා වුණා. නමුත් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය සම්බන්ධ පළමුවැනි ශක්‍යතා අධ්‍යයනය 1958දී බණ්ඩාරනායක මහතා අගමැතිව සිටියදී ඇමෙරිකන් ආණ්ඩුව මඟිනුයි සිදු කළේ. ඒ අනුව තමයි 1965 එජාප ආණ්ඩුව පොල්ගොල්ල වේල්ලේ වැඩ ආරම්භ කළේ.මෙතැන විශේෂ තත්ත්වයක් තියෙනවා. අනුරාධපුර, පොළොන්නරුවේ රජරට ප්‍රධාන වැව් ඔය වෙනකොට ප්‍රතිසංස්කරණය කර තිබුණත් ඒවායේ ජල ධාරිතාව ඒ පළාත්වල කෘෂිකර්මාන්තයට ප්‍රමාණවත් වුණේ නැහැ.

 ඇයි එහෙම වුණේ රාජධානි සමයේ ප්‍රධාන වැව් වාරිමාර්ග කෘෂිකර්මාන්තයට සෑහුනා.

ඒක අපි තේරුම් ගතයුතු හොඳ ප්‍රශ්නයක්. අපි ඒ මහා වැව් ප්‍රතිසංස්කරණය කළත් ඒ වැව් සමඟ බැඳී තිබූ කුඩා වැව් පද්ධතිය සංවර්ධනය කළේ නැහැ. එයට කියන්නේ එල්ලංගාව කියලයි. එල්ලංගාව නොසලකා හැරීම ජලය හීන වීමට ප්‍රධාන හේතුව වුණා. කලාවැව, සේනානායක සමුද්‍රය, මහා කනදරාව, පරාක්‍රම සමුද්‍රය අපි ප්‍රතිසංස්කරණය කරලයි තිබුණෙ. නමුත් වාරි පද්ධති බිඳ වැටී තිබුණා.

 එහි ප්‍රතිඵලය වුණේ කුමක්ද?

1980 තරමේ එහා ගිය පත්තර අරගෙන බැලුවොත් ඔබට දකින්න පුළුවන් රජරට මිනිස්සු වතුර නිසා මිනී මරාගෙන තිබෙනවා. මට ඒ ගැන බොහෝ අත්දැකීම් තියෙනවා. වතුර බෙදා ගන්න බැරිව යල කන්නයේ බොහෝ කෝලාහල හටගත්තා. ඒ විතරක් නෙවෙයි වාරිමාර්ග ඉන්ජිනේරුවරුත් ගොවීන්ගෙන් අනන්තවත් ගුටිකාල තියෙනවා. බොහෝ නිලධාරීන් ගම්වලට ගියේ නැහැ ගුටිකන්න බයේ. පොළොන්නරු දිසාපති අමරදාස ගුණවර්ධන මහත්තයටත් ගොවීන් ගැහුවා. ජාතික ජල කළමනාකරණ මණ්ඩලය රැස් වෙන්නේ ගන්නොරුවේ. ඊට ගොවීන්ගෙ නියෝජනයක් තිබුණෙ නැහැ. 1989 විපක්ෂ මන්ත්‍රිවරයෙක් හැටියට මමයි පාර්ලිමේන්තුවට යෝජනා කළේ ජල කළමනාකරණ මණ්ඩලය ගොවි නියෝජිතයො ඇතුළත් කරගත යුතුයි කියා. 1991 සිට එය ක්‍රියාත්මක වුණා. ඒකෙන් ගොවීන් අතර බොහෝ කලකෝලාහල ඇතිවුණා ජලය නිසා.

 මේ තත්ත්වයට මූලික විසඳුම කුමක් විය යුතු යැයි ඔබතුමා එදා කල්පනා කළාද?

රජරට ජල හිඟයට ප්‍රධාන විසඳුම මොරගහකන්ද ජලාශය ඉදිකිරීම බව මා ඉතා කුඩා අවධියේ සිටම තේරුම්ගෙන සිටියා. මොරගහකන්ද මගේ සිහිනය සැබෑ වීමක් කියා මා කියන්නේ එනිසයි. මොරගහකන්ද රජරට ජනතාවගේ කඳුළු කතාව යැයි කීමේ ඉතා පැහැදිලි සත්‍යයක් තියෙනවා. යල-මහ පමණක් නෙවෙයි සාමාන්‍ය නියං කාලවලදීත් මිනිසුන් ජලය නැතිව බොහෝ දුක් වින්දා. ඔවුන් හැමදාමත් කිව්වේ අපිට මොරගහකන්ද ජලාශය හදා දෙන්න කියලා.

 ජනාධිපතිතුමනි, ඇයි ඉතින් දිගටම මොරගහකන්ද ව්‍යාපෘතිය භාවිතාවට නැඟුණේ නැත්තේ?

මම ඒක පැහැදිලි කරන්නම්. 1976 මෛත්‍රිපාල සේනානායක මහත්තයා රුසියන් ඉන්ජිනේරුවො ලවා මහවැලි ගංගාව උතුරට හැරවීමේ දෙවැනි ශක්‍යතා අධ්‍යයනය සිදු කළා. 1958 ඇමෙරිකන් වාර්තා පදනම් කරගෙනයි එය සිදු කළේ. එහිදී ඔවුන් නිර්දේශ කළා මහවැලි ජලය මේ යෝජනා ක්‍රමය තුළින් ඉරණමඩු ජලාශය දක්වා ගෙන යන්න පුළුවන් කියා. නමුත් ඒ වැඩපිළිවෙළ 1977 ආණ්ඩු මාරුව සමඟ වෙනස් වුණා.

 සෝවියට් ඉන්ජිනේරුවන් සිදුකළ ශක්‍යතා අධ්‍යයනයට කඩිනම් මහවැලියේ පංච මහා ජලාශ අයිති වුණේ නැද්ද?

ඊට පංච මහා ජලාශ ඇතුළත් වුණා. කොත්මලේ ඩෑම් එකත් ඇතුළත් සෝවියට් ඉන්ජිනේරුවරු කියපු දෙයක් තමයි මේ මහවැලි ජලාශ ඉදිකිරීම අවුරුදු 25ක් තරම් කාලයක් තුළ වරින්වර සිදු කළ යුතුයි කියන එක. ඔවුන් අවධාරණය කළේ එකවර කිරීම සුදුසු නොවන බවයි.

 සිංහල රජ කාලේ රට මැද කඳුකරයේ උස් බිම්වල වැව් ඉදිකර නැහැ

ඔව්. පහත් බිම්වල පමණයි අපේ රජවරු වැව් නිර්මාණය කළේ. මහවැලි සංවර්ධන සැලැස්ම තුළ පමණයි මෙහෙම කඳුකරයේ වැව් හැදුවේ. ඒ නිසා තමයි සෝවියට් ඉන්ජිනේරුවන් කිව්වේ මේ වැව් වේලි නිසා පරිසරය විශාල වශයෙන් විනාශ වෙනවා. ඒවා නැවත සකස්වීමට වනාන්තර බිහිවීමට අවකාශය සලස්වමින් වසර 25ක පමණ කාලයක් තුළ මේ සංවර්ධන කටයුතු සිදු කරන්න කියලා.

 1977දී මේ තත්ත්වය වෙනස් වී කඩිනම් මහවැලිය ආවා.

ඔව්. එදා වැඩි බර දැම්මේ ඉක්මනින් ජලාශ හදලා විදුලිබල පද්ධති සංවර්ධනය කරන්නයි. ඒ කාලේ ජේ.ආර්. ජයවර්ධන, ගාමිණී දිසානායක මහත්වරු කිව්වා කඩිනම් මහවැලියෙන් ඉන්දියාවටත් විදුලිය දෙනවා කියලා. ඔබට මතකත් ඇති.

මොරගහකන්ද ව්‍යාපෘතිය විදුලිය නිෂ්පාදනය සඳහා යොමුවූයේ නැද්ද?

මහවැලි යෝජනා ක්‍රමය තුළ අඩුම විදුලි උත්පාදනය තිබුණේ මොරගහකන්ද ව්‍යාපෘතියේ. ඒක මේ විදියට කොන් වෙන්නත් එක හේතුවක් වුණා. ජලාශ පහටම ගාමිණි දිසානායක මහත්තයාට වියදම් වුණේ එදා කෝටි 7,000යි. ඒ කාලෙ ඇස්තමේන්තුවෙන් මොරගහකන්දට කෝටි 5,000ක් දාලා තිබුණා. මොරගහකන්ද යට යන්න ඒකත් හේතුවක් වුණා.

 ඔබතුමා 1989දි පාර්ලිමේන්තුවට එනවා. මොරගහකන්ද යථාර්ථයක් බවට පත් කරගන්න කුමක්ද කළේ?

මම විපක්ෂ මන්ත්‍රිවරයෙක් විදියටයි එදා හිටියේ. මට මතකයි මහවැලි අමාත්‍යාංශය සම්බන්ධ සෑම විවාදයකදීම මම මේ ඉතිහාසය ගැන ප්‍රකාශ කළා. රජරට ජනතාවගේ එකම ඉල්ලීම මොරගහකන්ද ජලාශයේ වැඩ ආරම්භ කිරීම බව හැමදාමත් කිව්වා. නමුත් ප්‍රතිඵලයක් වුණේ නැහැ.

 අගමැති රණසිංහ ප්‍රේමදාස මහතා මහවැලිය සම්බන්ධව මොන විදියේ වැඩ කොටසක්ද කළේ?

ප්‍රේමදාස මහත්තයා මහවැලිය ගැන කිසිවක් කළේ නැහැ. ඒකට පෞද්ගලික හේතුවක් තිබුණා. ඒවා කීම සුදුසුද දන්නෙ නැහැ. ප්‍රේමදාස ජනාධිපතිතුමා සහ ගාමිණී දිසානායක මහතා අතර තිබූ ආරවුල නිසා ප්‍රේමදාස මහතා ජනාධිපති වූ හැටියේ ගාමිණී මහවැලි ඇමැතිකමෙන් අයින් කරලා වැවිලි කර්මාන්ත ඇමැති කළා. මහවැලිය අම්පාරේ පී. දයාරත්නට භාර දුන්නා. නමුත් මහවැලියෙ කිසිම දෙයක් කළේ නැහැ. මහවැලි, මහවැලි කියල ඇතිවූ ප්‍රචාරයත් එක්ක ගාමිණී දිසානායක මහත්තයාට රටේ ලොකු ප්‍රතිරූපයක් ගොඩනැඟිල තිබුණා. ප්‍රේමදාස මහත්තයාට මේක රිස්සුවේ නැහැ. යූඇන්පීය ඇතුළෙ ලලිත්-ගාමිණී අර්බුදයේ එක කොටසක් තමයි මහවැලිය. ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වුණාම හරිනම් එදා අගමැතිකම දෙන්න තිබුණෙ ගාමිණීට. නමුත් ඔය මහවැලියත් එක්ක ඇතිවූ ආරවුල නිසා තමයි විජේතුංග මහත්තයාට අගමැතිකම ලැබුණෙ.

 හොඳයි 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ජනාධිපති වුණා

පොදුජන එක්සත් පෙරමුණෙන් එතුමිය ජනාධිපති ධුරයට ඉල්ලා මට මතකයි පොළොන්නරුවෙ රැස්වීමට ආවා. රැස්වීමෙ කතා කරන්න කලින් එතුමිය මගෙ කනට කරලා ඇහුවා මම මොනවද මේ රැස්වීමෙ කියන්න ඕන කියලා. මම මැඩම්ට කිව්වා අපි ආණ්ඩුව පිහිටෙව්වම මොරගහකන්ද යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනව කියන්න කියලා. එතුමිය කතාව මැද්දෙදි ඒ ප්‍රකාශය කළා.

 ඉතින් පොදුජන එක්සත් පෙරමුණ මොරගහකන්දේ වැඩ ආරම්භ කළාද?

නැහැ. එතුමියගෙ අවුරුදු 11ක පාලන කාලය තුළම මම මේ ගැන සටන් කළා. නමුත් කිසිවක් කරගන්න බැරිවුණා. එයට හේතුව වශයෙන් කිව්වේ මේකට යන මුදල විශාල බව පමණයි.

 2005 මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වෙනවා.

ජනාධිපතිවරණය වෙලාවෙ මහින්ද රාජපක්ෂ මහතා පොළොන්නරුවට ආවමත් හිඟුරක්ගොඩ රැස්වීමෙදි අර වගේම මගෙන් ඇහුවා මම මොනවද කියන්න ඕන කියලා. මම කිව්ව රජරටට තියෙන ලොකුම ප්‍රශ්නය ජලය. මොරගහකන්ද ව්‍යාපාරය ක්‍රියාත්මක කරල රජරට ජල ප්‍රශ්නය විසඳන බව කියන්න කියලා. එයත් ඒ කතාවම කිව්වා. ජනාධිපති වෙලා අවුරුදු දෙකක් ගියා සද්දයක් නැහැ. අවසානෙ මම ලොකු බලපෑමක් කළාම කිව්වා මොරගහකන්ද පටන් ගන්න පුළුවන්, හැබැයි ඉතින් සල්ලි නැතිව තමයි පටන් ගන්න වෙන්නේ කියල. මම කිව්ව පටන් ගනිමු පස්සෙ සල්ලි හොයා ගනිමු කියලා.

මම ඔබට කියන්න ඕන 94දි මම වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති කාලෙ කීර්තිමත් ඉන්ජිනේරුවකු වූ ආචාර්ය සී.එන්.එස්. කුලරත්න එක්ක මොරගහකන්ද පුරා ඇවිදලා විස්තර දැනගෙන හිටියා. එතුමා මධ්‍යම ඉන්ජිනේරු කාර්යාංශයේ හිටියේ. එතුමා තමයි මට කිව්වේ මේ විදියට මොරගහකන්දේ වැඩ ආරම්භ කරන්න පුළුවන් බව.

 මූල්‍ය ප්‍රතිපාදන නැතිව නමුත් මොරගහකන්ද වැඩ ආරම්භ කළාද?

ඔව්. 2007 ජනවාරි 25 විශාල උත්සවයක් සංවිධානය කර මොරගහකන්ද ව්‍යාපෘතියෙ වැඩ ආරම්භ කළා. ඒ රැස්වීමට 10,000කට වඩා සහභාගි වුණා. මගේ මිත්‍රයා ඩලස් අලහප්පෙරුම තමයි ප්‍රචාරක අංශය භාරව සිටියේ. “මොරගහකන්ද වාරි වික්‍රමය” කියලයි ඔහු පෝස්ටර් ප්‍රදර්ශනය කළේ. එතකොට ඇස්තමේන්තුව කෝටි 7,000යි.

 ඉන්පසුව කුමක්ද සිදුවුණේ?

අපි ජනවාරි 25 මොරගහකන්දට මුල් ගල තිබ්බේ. 27 කැබිනට් සංශෝධනයක් ආවා. 25 මුල්ගල තියලා මම 26 කොළඹ ආවා. 27 වැනිදා හවස මට මහින්ද රාජපක්ෂ මහත්තයා කෝල් එකක් දුන්නා ටෙම්පල්ටී්‍රස් එන්න කියලා. 28 වැනිදා තමයි අලුත් කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙන්න නියමිතව තිබුණේ. 2005දී මට විශාල අමාත්‍යාංශ දෙකක් භාරදී තිබුණා. ඒ වෙලාවෙත් ඔය අගමැති තනතුර ගැන අර්බුදයක් තිබුණා. 2005 එයා ජනාධිපති හැටියට දිවුරුම් දීපු දවසෙ හවස මමයි, මංගල සමරවීරයි නිමල් සිරිපාලද සිල්වයි තුන්දෙනා කැඳවලා අගමැති තනතුර ගැන සාකච්ඡා කළා. එතෙන්දි ඇතිවෙච්චි අර්බුදයේ ප්‍රතිඵලය වුණේ මැතිවරණ ව්‍යාපාරය තුළ කොහෙවත්ම හිටියේ නැති රත්නසිරි වික්‍රමනායක අගමැති වීම.

 මොනවද ඔබතුමාට එදා 2005 ලැබුණු අමාත්‍යාංශ

කෘෂිකර්ම, වාරිමාර්ග සහ මහවැලි එකත්, අනෙක පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යාංශ දෙකයි. ලේකම්වරු දෙන්නයි. එහෙම විශාල ඇමැතිධුර දෙකක් දරමින් සිටියදී තමයි 2007 ජනවාරි 27 මට ටෙම්පල්ටී්‍රස්වලට එන්න කිව්වේ. මොරගහකන්ද මුල්ගල තියල දවස් දෙකයි ගතවුණේ. මම ගියාම “යමු කතා කරන්න උඩට” කියල මාව ටෙම්පල්ටී්‍රස්වල උඩ තට්ටුවට එක්ක ගියා. ඒ වෙලාවෙ මට එන්න කියල තිබුණෙ මහින්ද රාජපක්ෂ මහත්තයත්, බැසිල් රාජපක්ෂ මහත්තයත් හදපු ඇමැති මණ්ඩලේ ලිස්ට් එක පක්ෂෙ ලේකම් හැටියට මට පෙන්නලා කොහොමද අහන්න. ඒ වෙනකොට අපි අතරෙ තිබූ මිත්‍රශීලීභාවය නිසා අපි උඩ තට්ටුවෙ වාඩි වෙද්දි බැසිල් එතැනට ආවා.
“ඕක මෛත්‍රිට දෙන්න බලන්න.” බැසිල්ට කිව්වා. බැසිල් මගෙ අතට කොළයක් දුන්නා. ඒකෙ තිබුණෙ ඒ දෙන්න හදපු හෙට දිවුරුම් දෙන ඇමැති මණ්ඩලය. මම කියවන ගමන් යම් යම් සංශෝධනත් ඉදිරිපත් කළා. මේක මෙහෙම වුණා නම් වඩා හොඳයි කියලා. කොහොමහරි මම අන්තිමට බැලුව දැන් අලුත් කැබිනට් එකේ මගේ ඇමැතිකම මොකක්ද කියලා.

 ඒ වන විට විශාල අමාත්‍යාංශ දෙකක් දරමින්නෙ හිටියෙ?

ඔව්, මට මේ ලැයිස්තුවෙ තියෙන්නෙ “කෘෂිකර්ම හා ගොවිජන සේවා” මම එකපාරටම ඇහුවා මේක ඇතුළෙ මහවැලිය තියෙනවද කියලා. ඒ වෙද්දි මොරගහකන්දට මුල්ගල තියල දවස් දෙකයි. මේකෙ මුල ඉඳන්ම ෆයිටර් මමනෙ.
“මහවැලිය නම් ඕකේ නෑ.” බැසිල් කිව්වා.

“දැන් පෙරේද උත්සවයක් තියල මුල්ගල් තියලා” එහෙම කියල මම මහින්ද රාජපක්ෂ මහත්තයාගෙ මුහුණ දිහා බලාගෙනම කතා කරගෙන ගියා.
“සර් දන්නවනෙ පෙරේද උත්සවය. මට මහවැලිය අවශ්‍ය මොරගහකන්ද කරන්න වුවමනා නිසා. මම පුංචි කාලෙ ඉඳන් අවුරුදු ගාණක් තිස්සෙ මේක කරන්න වෑයම් කරනවා. අපේ පළාත්වල මිනිස්සු වතුර නැතිව විඳින දුක මම දන්නවා. ඇයි මගෙන් මේක අයින් කරන්නෙ. කියල ඇහුවා.
“අපි ඒක අලුත් අමාත්‍යාංශයක් හදල චමල් අයියට දෙනව” කියල බැසිල් කිව්වා.

ඒක කළේ වෙන කිසිවක් නිසා නෙවෙයි. එදා මොරගහකන්ද කළා නම් මමත් ගාමිණී දිසානායක වගෙ උඩට එන නිසා. අනික මොරගහකන්ද කියන්නෙ කෝටි 7,000ක විශාල ප්‍රොජෙක්ට් එකක්. ඒකෙ රස මෙයාල දන්නවනෙ. මම කිව්වා.
“මේ වැඩෙන් මට පොළොන්නරුවට ගිහින් මූණ දෙන්න බැරිවෙනවා.”
ඒ පාර මහින්ද රාජපක්ෂ මහත්තයා බැසිල්ගෙ මූණ දිහා බලලා “බැසිල් ඔන්න ඕක දීල දානවා” කිව්වා.
“මහවැලි කියල ඕකෙ නම දාන්න ඕනත් නෑ” කිව්වා.

 අන්තිමට මහවැලි අධිකාරිය ලැබුණා.

අමාත්‍යාංශයට නම නොදමා ගැසට් එකෙන් ඇතුළු කළා. හැබැයි මහමැතිවරණයට යනකල්ම සල්ලි දුන්නෙ නැහැ. මම ජාත්‍යන්තර මූල්‍ය ආයතන එක්ක කතා කරල මොරගහකන්දෙ වැඩ කරගෙන යන්න සූදානම් වුණා. මුදල් අමාත්‍යාංශයේ පි.බී. ජයසුන්දරල ඒ එකක්වත් කරගෙන යන්න ඉඩ දුන්නෙ නැහැ. එදා වැඩ පටන් ගත්තනම් 2012 වතුර දෙන්න තිබුණා.

 ජනාධිපතිතුමනි, මොරගහකන්ද, කළුගඟ ව්‍යාපෘතියෙන් කොපමණ ප්‍රදේශ ආවරණය වෙනවාද?

රජරට පොළොව තෙත් කරල, ත්‍රිකුණාමලය නගරයටත් වතුර දෙනවා. මාතලේ, ලග්ගල, දාවුල්ල, නාඋල ජල හිඟය අවසන් වෙනවා. 2010 මාව සෞඛ්‍ය ඇමැති කළා. 2012 නිමල් සිරිපාල ඇමැතිතුමා චීන සමාගමකින් මුදල් ගත්තා. දැන් වැඩ කරගෙන යන්නෙ ඒ සමාගම. මම ඒ ගැන ඊට වැඩිය කියන්න යන්නේ නැහැ. එදා කෝටි 7,000න් කරන්න තිබුණු වැඩේට අද කෝටි 12,000ක් යනවා. මේ ව්‍යාපෘතියෙන් පස්සේ අනුරාධපුර, පොළොන්නරුවෙ ගොවීන්ට කන්න තුනක් ගොවිතැන් කරන්න පුළුවන් වෙනවා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close