Breaking News
Home / Gossip / හමුදා-පොලිස් බුද්ධි අංශ ගැටෙයි රහස් රැසක් එළියට

හමුදා-පොලිස් බුද්ධි අංශ ගැටෙයි රහස් රැසක් එළියට

පසුගිය කාලයේ සිදු වූ විවිධ අපරාධ සහ රහසිගත මිලිටරි ක‍්‍රියාන්විත සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ හේතුවෙන් ජාතික ආරක්ෂක හමුදා සහ ශ‍්‍රී ලංකා පොලීසිය අතර වන ගැටුම්කාරිත්වය මේ වන විට උග‍්‍ර අතට පත් වෙමින් තිබෙන බව එම දෙපාර්ශ්වයටම සම්බන්ධ ආරංචි මාර්ග පවසා සිටී.

විශේෂයෙන්ම පසුගිය දා යාපනය චාවකච්චේරිය ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගන්නා ලද පැරණි එල්ටීටීඊ මරාගෙන මැරෙන ජැකට්ටුව හා පුපුරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු සඳහා පොලීසිය මැදිහත් වූ ආකාරය සම්බන්ධයෙන් යුද හමුදාවෙන් දැඩි විවේචන ඉදිරිපත්ව ඇත.

මෙවැනි පරීක්ෂණ කටයුතුවල දී පොලීසිය විසින් අනුගමනය කළ යුතු සාමාන්‍ය ක‍්‍රියාපටිපාටියෙන් බැහැරව සහ උතුරේ ආරක්ෂක හමුදා සමඟ වන සම්බන්ධීකරණයෙන් තොරව කටයුතු කිරීම නිසා යළි උතුරේ ජන ජීවිතය අවුල් වන තත්ත්වයක් මතුව ඇති බවත් එමෙන්ම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අනතුරුදායක තත්ත්වයක් මතුව ඇති බවත් ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන්ගේ මතය වී ඇත.

මෙම පරීක්ෂණ කටයුතු සිදු කරන්නේ පොලිස් දෙපාර්තමේන්තුව යටතේ වන ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය ය. එය පොලිස් අධිකාරී නාලක සිල්වා යටතේ ක‍්‍රියාත්මක වෙයි. මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් නැගෙනහිර පළාතේ හිටපු එල්ටීටීඊ සාමාජිකයන් 12 දෙනකු ඔවුන් විසින් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරමින් සිටී. ඒ අතර ‘රාම්’ නම් එල්ටීටීඊ හිටපු නැගෙනහිර බුද්ධි අංශ නායකයා ද කලයන් නම් ත‍්‍රිකුණාමලයේ බුද්ධි අංශ නායකයා ද නගුලන් නම් චාල්ස් ඇන්තනී බළකායේ (එල්ටීටීඊ නායකයාගේ ශරීරාරක්ෂක බළකාය) නායකයා ද ප‍්‍රභා නම් මඩකලපු බුද්ධි අංශ නායකයා ද වෙයි. කෙසේ නමුත් මෙලෙස අත්අඩංගුවට ගත් මෙම පිරිස යුද සමයේ දී හමුදාව විසින් යටත් කර ගැනීමෙන් පසුව යුද හමුදා බුද්ධි අංශ සමඟ මේ දක්වා එක්ව කටයුතු කළ අය බව හමුදා බුද්ධි අංශ ආරංචි මාර්ග පවසයි.

2008 යුද සමයේ දී එල්ටීටීඊ බුද්ධි අංශයට සම්බන්ධ 150ක පමණ පිරිසක් හමුදාවට යටත් ව ඇති අතර අවසානයේ දී තෝරා ගත් 15 දෙනකු යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්තව 2013 දක්වා වැටුප් ලබමින් සේවය කර ඇත. ඉන් පසුව ඉඩකඩම්, රැකියා අවස්ථා හා වෙනත් පහසුකම් සලසා දී සාමාන්‍ය ජන ජීවිතයක් ගෙන යාමේ අවස්ථාව ආරක්ෂක අංශ විසින්ම සලසා දී තිබිණි.

මෙලෙස හමුදාව සමඟ කටයුතු කළ එල්ටීටීඊ බුද්ධි අංශ නායකයන් රැසක් මෙරට රහසිගතව ජීවත් වූ අතර පිරිසක් ආරක්ෂක හේතු මත විදේශ රටවල පදිංචි කරවා ඇති බවත් පැවසේ. කෙසේ නමුත් මෙම පිරිසෙන් හමුදාව ගත් සේවය කුමක්ද යන්න ප‍්‍රශ්නකාරීව ඇති අතර පසුගිය රාජපක්ෂ රෙජීමය පැවති කාලයේ දී උතුරේ මෙන්ම දකුණේ දී දේශපාලන ඝාතන හා බෝම්බ පිපිරවීම් අතිවිශාල ප‍්‍රමාණයකට මෙම එල්ටීටීඊ බුද්ධි අංශ හා සම්බන්ධතා පවත්වාගෙන ගිය හමුදා බුද්ධි අංශයේ කණ්ඩායමක් වගකිව යුතු බව මේ වන විට පොලීසිය විසින් හෙළිදරව් කරගෙන ඇත. ඒ අනුව එම අපරාධ සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙසීයකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගැනීමට සිදු වනු ඇති බව පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. නමුත් එම තත්ත්වය හමුදාව, ආණ්ඩුව සහ පොලීසිය අතර බරපතළ ගැටුම්කාරිත්වයක් ඇති කරනු ඇති නිසා එම පරීක්ෂණ කටයුතු මේ වන විට මන්දගාමීව සිදු කිරීම හෝ අතරමඟ නවතා දැමීම සිදු කර ඇත.

ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ගේ මතය වී ඇත්තේ නැති ත‍්‍රස්තවාදයක් සහ එවැනි අනතුරක් ඇති බවට වන ව්‍යාජ මතයක් පෝෂණය කරමින් යුද හමුදා බුද්ධි අංශ හිටපු එල්ටීටීඊ නායකයන් සමඟ අමුතු සෙල්ලමක නිරතව සිටින බවය. යුද හමුදා බුද්ධි අංශය තවමත් පවතින්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සමීප කණ්ඩායමක් යටතේ බවට ද පොලීසිය පාර්ශ්වයෙන් චෝදනා එල්ල වෙයි. එම තත්ත්වයට තවදුරටත් ඉඩ දිය යුතු නැති බවත් මෙම කණ්ඩායම දේශපාලන වුවමනාවන් වෙනුවෙන් භාවිත කිරීම හේතුවෙන් අනාගතයේ දී ද එවැනි අනතුරු ඇති වීමේ ඉඩ කඩක් පැවතිය හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.

කෙසේ නමුත් හමුදා බුද්ධි අංශ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ පොලීසියේ මෙම ක‍්‍රියාමාර්ගය තවත් මිලේනියම් සිටි වර්ගයේ පාවා දීමක් විය හැකි බවය. ඇතැම් පොලිස් නිලධාරීන් කටයුතු කරන්නේ රටේ ආරක්ෂාව ගැන නොසිතා තමන් කැපී පෙනීමේ උවමනාවෙන් සහ උසස් වීම් ආදිය ලබා ගැනීමේ අරමුණෙන් බවත් හමුදාවේ ඇතැම් කොටස් චෝදනා කරයි.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ පොලීසිය උතුරේ කරන මෙහෙයුම් නිසා නැවත වරක් ජාත්‍යන්තර ප‍්‍රජාවේ අවධානය රට කෙරෙහි අහිතකර ලෙස බලපවත්වන්නට ගෙන ඇති බවය. යළි රාජ්‍ය ත‍්‍රස්තවාදයක් ක‍්‍රියාත්මක වන බවත් මාධ්‍ය විසින් දෙමළ විරෝධයක් මතු කරමින් සිටින බවත් එම තත්ත්වය මත රාජපක්ෂවාදීන් රටේ නොමැති ත‍්‍රස්තවාදයක් ඇති බව ප‍්‍රචාරය කරමින් දකුණේ සමාජය තුළ අනවශ්‍ය කලබලයක් ඇති කරමින් සිටින බව මෙරට තානාපති අංශවල කතාබහට ලක්ව ඇති බව දැන ගැනීමට තිබේ. මේ කවර තත්ත්වයක් මත වුවත් නැවත එල්ටීටීඊ හෝ වෙනත් සන්නද්ධ කැරලිකාරිත්වයකට මේ රටේ කිසිදු ඉඩක් නොමැති බව ආරක්ෂක අංශ සහ පොලීසිය විසින් සහතික කර පවසා සිටී.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close