Breaking News
Home / Gossip / විනිසුරු දුරකථන ‘ටැප් කිරීම’ ප්‍රබන්ධයක්

විනිසුරු දුරකථන ‘ටැප් කිරීම’ ප්‍රබන්ධයක්

හිටපු පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මිනීමැරුම් චෝදනාවලින් නිදහස් කළ විනිසුරුවරයාගේ දුරකථනයට රහසේ සවන් දී තිබෙන බවට පළ වන වාර්තා පිළිගත නොහැකි බව ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක ප්‍රකාශ කරයි.

විනිසුරුවරයාගේ දුරකතනයට රහසේ සවන් දී ඇති බව හිටපු පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය රූපවාහිනී නාලිකාවකට පවසා තිබුණි.

භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ විනිශ්චය මඬුල්ලේ සභාපති විනිසුරු ශිරාන් ගුණරත්න මෙතෙක් එවැනි කිසිදු පැමිණිල්ලක් කර නැති බවයි, බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක පෙන්වා දුන්නේ.

“මේක පුදුම සහගත කතාවක්. විශේෂයෙන්ම චුදිතයාගේ නීතිඥවරයා විනිශ්චකාරවරයා පිළිබඳව ප්‍රශ්නයක් මතු කිරීම සැක සහිතයි,” ඔහු සඳහන් කළේ සංදේශයේ උපාලි ගජනායක සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

එවැනි තර්ජනයක් පිළිබඳව නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය තමන් දැනුවත් කර නැති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයද පසුගිය බදාදා සඳහන් කළේය.

“තර්ජනයක් තිබෙනවා නම් විනිශ්චකාරවරයා ඒ පිළිබඳව පළමුවෙන් අගවිනිසුරුවරයා දැනුවත් කළ යුතුයි. පසුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඊළඟ ක්‍රියාමාර්ගය ගත යුතුයි. මේ දෙකම නැතුව චූදිතයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා කරන්නේ පිළිගන්න බැරි කතාවක්.”

එබැවින් මෙය ජනතාව නොමඟ යැවීම පිණිස කරන ලද ‘කොන්ත්‍රාත්තු වැඩක්’ ලෙස පෙනී යන බව පවසන නීතිඥ ලාල් විජේනායක, එය විග්‍රහ කළේ අධිකරණය පිළිබඳව ජනතා විශ්වාසය බිඳ දැමීමේ උත්සාහයක් ලෙසින්.

“අද අධිකරණය, පොලිසිය ඇතුළු සියලු ආයතන දේශපාලන මැදිහත් වීමකින් තොරව නිදහසෙන් කටයුතූ කරන බව හැමදෙනාම දන්නවා,” ඔහු පැවසීය.

මරණ දඬුවමට එරෙහිව දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයා දැනටමත් අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බැවින් ඉහත කී ආකාරයේ ප්‍රකාශ මගින් එම අභියාචනයට බරපතල බාධාවක් එල්ල විය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

‘විනිසුරුවරුන්ට තර්ජනයක්’

“බාධාවක් වෙනවා. මේක එක විදියකින් විනිශ්චයකරුවන්ට කරන තර්ජනයක් වෙන්නත් පුළුවන්. ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්‍රයේ ඉතිහාසය තුළ කවුරුවත් මෙවැනි පිළිගත නොහැකි ප්‍රකාශයක් සිදුකරලා නැහැ.”

භාරත ලක්ෂමන් ඝාතන නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බැවින් ඔවුන් නිදොස් කොට නිදහස් කරන බව විනිසුරු ශිරාන් ගුණරත්න තීන්දු කළත්, පද්මිණි එන් රණවක සහ එම්කේඩී මොරායස් යන බහුතර විනිසුරුවරු දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකු චෝදනා වලට වරදකරු බව තීන්දු කළහ.

මේ පිළිබඳව වැඩිදුර විස්තර විමසීම පිණිස ජ්‍යෙෂ්ඨ නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය ඇමතීමට දින කිහිපයක් මුළුල්ලේ බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close