Breaking News
Home / Gossip / රටටම ‘නිවාඩු සුවය’ දුන් 86 ජයග්‍රාහී මතකය-ආසියානු කුසලාන නොමැකෙන මතක

රටටම ‘නිවාඩු සුවය’ දුන් 86 ජයග්‍රාහී මතකය-ආසියානු කුසලාන නොමැකෙන මතක

ආසියානු කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ රස මුසු තැන් සොයා යන ගමනේදී 1986 වසරේ පැවැති තරගාවලියේ මතකයද බැහැර කළ නොහැක. ආසියානු කුසලාන තරගාවලියක ශ්‍රී ලංකා ජයග්‍රහණයේ බලමුද්‍රdව තබන ලද පළමු තරගාවලිය වශයෙන් එම තරගාවලිය නොමැකෙන මතකයක්‌ ඉතිරි කර තිබේ. සමාරම්භක තරගාවලිය එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට ආසියානු ක්‍රිකට්‌ කවුන්සිල බලධාරීන් පියවර ගනු ලැබුවද දෙවැනි තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවී තිබීමද විශේෂත්වයකි.

ඉකුත් වසරේ (1985) වසරේ ශ්‍රී ලංකාව සමග පැවැති තරගාවලියේදී සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක්‌ මුල්කොට ගනිමින් ඉන්දියාව මෙම තරගාවලියට සහභාගිවීමෙන් වැළකී සිටියේය. එහෙත් ආසියානු කුසලාන ඉතිහාසයේ පළමු වතාවට බංග්ලාදේශය තරගාවලිය නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබා තිබීම මත මෙම තරගාවලියද තුන්කොන් තරගාවලියක්‌ ලෙසින් පැවැත්විණ.

තරගාවලිය නියෝජනය කරන ලද තෙවැනි රට වූ පාකිස්‌තානු පිලේ නායකයා ලෙස කටයුතු කරන ලද ඉම්රාන් ඛාන්, ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ තරගය විනිශ්චය කරන විනිසුරුවරුන්ගේ ගුණාත්මක භාවය පිළිබඳ ගැටලුකාරීත්වයක්‌ පැන නැගෙනු ඇතැයි ප්‍රකාශයට පත් කිරීම එවකට දැඩි ආන්දෝලනාත්මක සිදුවීමක්‌ බවට පත්විය. කෙසේ වෙතත් එම ප්‍රකාශයෙන් පසු වහා ක්‍රියාත්මක වූ එවකට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ සභාපතිවරයා වූ දිවංගත ගාමිණී දිසානායක මහතා, ක්‍රිකට්‌ උපන් රට වන එංගලන්තයෙන්ම විනිසුරුවරුන් දෙදෙනෙකු ගෙන්වා තරගාවලිය පැවැත්වීමට කටයුතු යෙදීම කැපී පෙනුණි. මෙහිදී ගාමිණී දිසානායක මහතා විසින් ශ්‍රී ලංකාවට ගෙන්වන ලද්දේ එවකට මෙන්ම අදටත් ලොව හොඳම විනිසුරුවන් ලෙසින් විරුදාවලි ලබා සිටින ඩේවිඩ් ෂෙපර්ඩ් සහ ඩිකී බර්ඩ් යන විනිසුරුවන් දෙදෙනාය.

සුපුරුදු පරිදි අවසන් මහ තරගයට සත්කාරක ශ්‍රී ලංකාව සහ පාකිස්‌තානය සුදුසුකම් ලැබූ අතර කාසියේ වාසිය දිනූ දුලිප් මෙන්ඩිස්‌ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු යෑවීම තීරණය කළේය. ඉම්රාන් ඛාන්, ජාaවෙඩ් මියෑන්ඩාඩ්, රමීස්‌ රාජා, සලීම් මලික්‌, වසීම් අක්‍රම් සහ මුදාසර් නසාර් යන ක්‍රිකට්‌ ලොව පතාකයන් ඇතුළත්ව සිටි පාකිස්‌තානු පිල පන්දුවාර 45 කදී කඩුලු 9 ක්‌ දැවී ලකුණු 191 කට සීමා කිරීමට කෞෂික්‌ අමලීන් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. ජාවෙඩ් මියෑන්ඩාඩ් ලකුණු 67 ක්‌ ලබා පාකිස්‌තානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූවේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී අදාළ ඉලක්‌කය පන්දුවාර 42.5 කදී කඩුලු 5 ක්‌ පමණක්‌ දැවී ශ්‍රී ලංකාව සපුරාගන්නා ලද්දේ, ‘කොටන කුකුලාට කොයි කොටුවත් ඔට්‌ටුයි’ යන පැරණි කියමනද ඉම්රාන් ඛාන්ගේ මෙන්ම අපගේ මතකයට ගෙන දෙමිනි. අදාළ ජයග්‍රහණය වෙනුවෙන් එවකට කණ්‌ඩායමේ කෝඩුකාරයන් වූ අර්ජුන රණතුංග(57) සහ අරවින්ද ද සිල්වා(52) අර්ධ ශතක වාර්තා කළහ. පසුකළෙක තරග තීරකවරයකු ලෙස කටයුතු කරන ලද රොෂාන් මහානාම මහතාද මෙම තරගයේදී ක්‍රීඩා කළ අතර ඔහු ඉනිම අරඹමින් ලකුණු 21 ක්‌ ලබාගත්තේය. ඔවුන්ට අමතරව බ්‍රෙන්ඩන් කුරුප්පු ලකුණු 30 කන් සහ නායක දුලිප් මෙන්ඩිස්‌ නොදැවී ලකුණු 22 ක්‌ ලබාගත්හ.

ටෙස්‌ට්‌ තත්ත්වය උදාවීමෙන් පසු ශ්‍රී ලංකාව විසින් වාර්තාකරගන්නා ලද අදාළ සුවිශේෂී තරග ජයග්‍රහණය සැමරීම නිමිත්තෙන් එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන ලද ඡේ. ආර්. ජයවර්ධන මහතා, පසු දවෙස රජයේ නිවාඩු දිනයක්‌ ලෙස ප්‍රකාශයට පත් කළේය.

තවත් කොටසක්‌ හෙට

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close