Breaking News
Home / Gossip / මාධ්‍ය අම්බරුවන් නිදන කාමර වලට කැමරා එල්ල කර රමණයේ හරි වැරැද්ද

මාධ්‍ය අම්බරුවන් නිදන කාමර වලට කැමරා එල්ල කර රමණයේ හරි වැරැද්ද

මෑත ඉතිහාසයේ මෙරට විද්‍යුත් මාධ්‍යයන්ගේ ඉලක්ක ගත ප්‍රහාරයන්ට ලක්වූවන්ගේ ලැයිස්තුවේ අංක 1 ට සිටින්නේ ‘රනිල් වික්‍රමසිංහ‘ අගමැතිවරයා ය. ඔහු විපක්ෂ නායක ධූරය දරණ අවධියේ ඔහුට විරුද්ධව රාජ්‍ය මෙන්ම පෞද්ගලික විද්‍යුත් මාධ්‍යය දැවැන්ත ප්‍රහාරක ව්‍යාපෘතියක් දියත් කෙළේය. රාජ්‍ය මාධ්‍යය ඔහු සහ එජාපය එල්ටිටීඊ සංවිධානයට බද්ධ කරමින් ‘කොටි හංවඩුව‘ ගැසීය. ඕනෑම මට්ටමේ මැතිවරණයක් කරළියට එන විට රාජ්‍ය මාධ්‍ය මෙම ‘කොටි නාඩගම‘ කරළියට ගෙන ආවේ ය. එය 1994 සිට 2014 දක්වා වසර විස්සක කාලයක් පුරා ක්‍රියාත්මක විය. එජාපයට මුහුණ දීමට සිදුවූ මැතිවරණ පරාජයත් සමග දෙවනුව කරළියට එන්නේ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක ධූරයෙන් සහ පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමේ විද්‍යුත් මාධ්‍ය ව්‍යාපෘතියයි. එය නිරන්තරයෙන් මෙහෙයවනු ලැබුවේ ‘සිරස“ මාධ්‍ය ජාලයයි. ඒ සඳහා අනෙකුත් විද්‍යුත් මාධ්‍ය අඩු වැඩි වශයෙන් දායක වූහ. රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ව්‍යාපෘතියට වඩා ‘සිරස‘ දේශපාලන ව්‍යාපෘතිය භයානක වන්නේ එය ‘එක් පුද්ගලයෙක් ඉලක්ක කර ගනිමින් එක් පුද්ගලයෙකු‘ එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙනි. රනිල් වික්‍රමසිංහ මහතා ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය ‘සිරස‘ මාධ්‍ය අධිපති කිලී මහාරාජා මෙහෙයැවීය. එය ඔහුගේ පෞද්ගලික දේශපාලන ව්‍යාපෘතියකි. කිලී මහාරාජා නමැති ව්‍යාපාරිකයාට අවශ්‍යව ඇත්තේ බලයට පත්වන ඕනෑම ආණ්ඩුවක් තමන්ගේ පදයට නටනු දැකීම ය. ඔහු කලෙක රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතම දේශපාලන හිතවතෙකු විය. වසර 2002 දී එස්.බී, ජී.ඇල්, මහින්ද විජේසේකර ඇතුළු කණ්ඩායම හරහා පොදු පෙරමුණු ආණ්ඩුව බිඳ දැමීමට රුපියල් මිලියන ගණනින් මන්ත්‍රීවරුන් මිලදී ගත් අයගෙන් අයෙකි ඔහු. 

එහෙත් පසු කලෙක ඔහු සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර තිබූ හිතවත්කම පළුදු වී ගියේය. එජාපය සහ රනිල් වික්‍රමසිංහ මහතාව සම්පූර්ණයෙන් තමන්ට අවශ්‍ය ආකාරයට නැටවීමට නොහැකි වීම මෙම නෝක්කාඩුවට මූලික හේතුව විය. ලංකාවේ රජුන් තනන්නා තමා යැයි සිතා සිටින කිලී මහාරාජා එජාප නායකත්වය සඳහා සජිත් ප්‍රේමදාස තෝරාගනු ලැබීය. රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් එළවා දැමීමේ ව්‍යාපෘතියක් ඉන්පසු ආරම්භ කෙළේය. ‘සිරස‘ මාධ්‍ය ජාලය යොදා ගනිමින් ඔහු රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි දේශපාලනික සහ පෞද්ගලික මට්ටමින් ප්‍රහාර එල්ල කෙළේය. ඒ වකවානුවේ ‘සිරස‘ සෑම ප්‍රවෘත්ති විකාශයකදීම රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් එළවා දැමීම  ඉලක්ක කරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සහ විශේෂ ප්‍රවෘත්ති විශේෂාංගයක් ඉදිරිපත් කෙළේය. එජාප නායකයාට ප්‍රහාර එල්ල කිරීම සඳහා එජාප පාර්ලිමේන්තු, පළාත් සභා, නගර සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු භාවිතා කළහ. ඔවුන් හිඟ වූ පසුව හිටපු ජනතා නියෝජිතයේ යොදා ගත්හ. ඔවුන්ද හිඟ වූ පසුව රනිල් වික්‍රමසිංහ මහතාගේ චරිතය ඝාතනය කළ හැකි ගම් වල සිටින ඕනෑම කසිප්පු කාරයෙක් යොදා ගන්නා තරමට කිලී මහාරාජා පල්ලම් බැස්සේය. මෙම නින්දා සහගත රනිල් විරෝධී මාධ්‍ය ව්‍යාපෘතියට මුහුණ දෙමින් පක්ෂ නායකත්වය ආරක්ෂා කර ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා සමත් විය. මහාරාජා තාවකාලිකව පසුබැස ගියේ ය. එහෙත් ඔහු සිය රජුන් තැනීමේ සිහිනය අත හැර නැත. තමන් යටතේ සේවය කරන මාධ්‍ය අම්බරුවන් පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණයන්ට ඉදිරිපත් කරමින් ඔවුන් හරහා දේශපාලන පක්ෂ කෙරෙහි තම බලපෑම පවත්වාගෙන යෑමට ඔහු උත්සාහ කරයි. දෙවනුව ජනවාරි 8 වෙනිදා විප්ලවයට සහයෝගය ලබා දීමට එකඟ වීම හරහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රාණ ඇපයට ගැනීමට ඔහු කටයුතු කෙළේය. ඔහු යටතේ සේවය කළ මාධ්‍ය අම්බරුවෙක් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකයා බවට පත් කෙළේය. 

කිලී මහරාජාට ‘බලය‘ ලැබුනේ කෙසේද? 

‘සිරස‘ අධිපතිවරයා සිය දේශපාලන ප්‍රාග්ධනය රැස් කර ගන්නේ කෙසේද? ඔහු මෙරට රජුන් තනන්නා වශයෙන් කටයුතු කිරීමට බලපෑම් කරන්නේ කෙසේද? මෙරට ප්‍රධානතම දේශපාලන පක්ෂයේ නායකයා පදවියෙන් එළවා දැමීමට උදේ සවස මාධ්‍ය ප්‍රචාරක වැඩ පිලිවෙලක් දියත් කිරීමට ශක්තිය ලැබුනේ කෙසේ ද? සරළ පිළිතුර තරංග සංඛ්‍යාත අයිතියයි.  සිරස මාධ්‍ය ජාලයට අයත් රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා විකාශය කිරීමට හැකියාව ලැබෙන විකාශන සංඛ්‍යාත අයිතියයි. 

එම තරංග සංඛ්‍යාත අයිතියට මුවා වෙමින් මහාරාජා ට සහ ඔහුගේ මාධ්‍ය අම්බරුවන්ට ඕනෑම පිස්සුවක් නැටීමට හැකි වී තිබේ. ඕනෑම පුද්ගලයෙකුගේ චරිතය ඝාතනය කළ හැකිය. ඕනෑම වැසිකිලි කටකට ඕනෑම පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් ඕනෑම මට්ටමක ප්‍රහාරයක් එල්ල කළ හැකිය. ඒ වෙනුවෙන් ඔවුනට කිසිදු වගකීමක් නැත. රනිල් වික්‍රමසිංහ මහතාට ඉතාම නින්දිත අන්දමට දේශපාලනිකව සහ පෞද්ගලික මට්ටමින් පහර දෙන විට තමාට වන අසාධාරණය පිලිබඳ පැමිනිලි කිරීමට ඔහුට කිසිදු ආයතනයක් නොවීය. ඔහුට සිදුවූ හානිය වළකා ගැනීමට හෝ සිදුවූ හානියට වන්දියක් ලබා ගැනීමේ ක්‍රමවේදයක් නොවීය. ඉදිරියේදී හෝ මෙවැනි තත්ත්වයක් ඇති නොවීම පිලිබඳ සහතිකයක් ද නොමැත. 

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ මහාරාජා අතර පවතින මධු සමය නිම වූ විට ඔහු ද මෙවැනි ප්‍රහාරයකට ලක්වීමේ ඉඩකඩක් පවතී.

ස්වර්ණවාහිනියේ හාල්පාරුවෝ සහ අම්බරුවෝ

මහජන නියෝජිතයන්ගේ ඉරණම විද්‍යුත් මාධ්‍යයක් මෙසේ විසඳන විට සාමාන්‍ය පුරවැසියන්ගේ තත්ත්වය ගැන කවර කථා ද? ඒ බව මොනවට ප්‍රදර්ශනය කරන අපූරු උදාහරණයක් ‘ස්වර්ණවාහිනි‘යේ ‘නිව්ස් ෆාස්ට්‘ නම් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශණයෙන් ඉදිරිපත් කළේය. රටේ සාමාන්‍ය ජනතාව සිදු කරන මෝටර් රථ පැදවීමේ වැරදි ‘මහා ගවේෂනාත්මක‘ පුවත් ලෙස විකාශනය කිරීමේ නපුංසක ක්‍රියාවලියක ස්වර්ණවාහිනියේ මාධ්‍ය අම්බරුවෝ පසුගිය කාලය පුරාම නිරත වූහ. මේ මහා ගවේෂනාත්මක පුවත් ඉදිරිපත් කරන්නේ පොලිස් මෝටර් රථ වාහන අංශයේ නිලධාරීන් සමග සිට ඔවුන් වාහනයක් නතර කළ අවස්ථාවන්හිදී එම රථයේ රියැදුරා සහ රථය රූපගත කිරීම් මගිනි. ලංකාවේ ජනගහනයෙන් අති බහුතරය කෂේරුකාවක් නැති නපුංසකයන් බැවින් මේ මහා නිර්භීත වාර්තාකරණයේ නියැලීමට මෙම මාධ්‍ය අම්බරුවන්ට කාලයක් පුරා හැකිවිය. එහෙත් අවාසනාවකට පසුගියදා ඔවුනට දුර්ලභ ඝනයේ සත්වයෙකු මුණ ගැසිනි. බුද්ධිමත්, කෂේරුවක් සහිත එම පෞද්ගලික පුරවැසියා මාර්ග නීතියක් කඩ කළ අතර පොලිස් නිලධාරියා ඔහු නතර කළේය. මෙය ඕනෑම රටක සිදුවන සාමාන්‍ය සිදුවීමකි. එම රියැදුරා නීති ගරුක පුරවැසියෙක් වශයෙන් තම වරද නිහතමානීව පිලිගත්තේ ය. වරදට දඬුවම් වශයෙන් අදාල දඩ මුදල ගෙවීමට ඔහු එකඟ විය. ඒ අවස්ථාවේ සුපුරුදු ලෙස ස්වර්ණවාහිනියේ මාධ්‍ය අම්බරුවෝ රියැදුරා හා පොලිස් නිලධාරීන් අතරට කඩා වැදුනහ. කෂේරුකාවක් සහිත එම පුරවැසියා මාධ්‍ය අම්බරුවන්ට කියා සිටියේ පොලිස් නිලධාරීන් සහ තමා අතර සිදුවන ගණුදෙනුව කැමරාගත කිරීමට හැකියාවක් නැති බවය. ඔහු ඉතා නිවැරදි ලෙස කියා සිටියේ එය සිය පෞද්ගලිකත්වය බවයි. පුරවැසියාගේ පෞද්ගලිකත්වය යන සර සංකල්පය ගැන කිසිදු අදහසක් නැති ස්වර්ණවාහිනී මාධ්‍ය අම්බරුවෝ අදාල රියැදුරාගේ එම ප්‍රකාශය සහිතව සිය ප්‍රධාන ප්‍රවෘත්ති අතර එම පුවත විකාශනය කෙළේ “මුගේ කට වැඩි“ බව කියමිනි. එම ප්‍රවෘත්තිය මගින් ස්වර්ණවාහිනියේ කැමරා සහ මයික් අල්ලන හාල්පාරුවෝ මෙන්ම ඔවුනට ඉහළ සිටින සියලු දෙනාම මාධ්‍ය අම්බරුවන් බව මොනවට පැහැදිලි විය. 

කිසිදු මාධ්‍යයකට පුරවැසියන්ගේ Private Space හෙවත් පෞද්ගලික සීමාවන් වෙත ඇතුළු විය නොහැකිය. එය ද ලෝකයේ පවතින සරළ මාධ්‍ය සදාචාරයකි. මේ බව හෝ නොදන්නේ කිසිදු ප්‍රමිතියක මාධ්‍ය දැනුමක් නොමැති ලංකාවේ විද්‍යුත් මාධ්‍ය අම්බරුවන්ම පමණි. 

මෙකී මාධ්‍ය අම්බරුවෝ මාධ්‍ය හමු වලදී කිසිදු ප්‍රශ්නයක් නොඅසති. ඕනෑම දූෂිතයෙක් වදාරණ දෑ කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ප්‍රවෘත්ති විකාශන යැයි කියා ගන්නා ටෙලි නාට්‍යයට එක් කරති. පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට කැඳවන රාජපක්ෂ රෙජීමයේ සාමාජිකයන්ගෙන් කිසිදු ප්‍රශ්න කිරීමක් නොකර ඔවුන්ගේ චන්ඩි කතා තමන්ගේ ප්‍රවෘත්ති ටෙලි නාට්‍යයට එක් කරති. ඔවුන්ව මූල්‍ය අපරාධ ඒකකයට කැඳවූයේ ඇටබෝල ගැසීමට නොවන බව සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම අයෙකුට තේරුම් ගත හැකිය. රාජපක්ෂ රෙජීමයේ සාමාජිකයන්ට එල්ල වී ඇති දූෂණ චෝදනා පිලිබඳ කිසිදු ප්‍රශ්න කිරීමක් නොකරන මේ අම්බරුවෝ පොලිස් ප්‍රශ්න කිරීම් වලින් පසුව එළියට බසින දූෂිතයන්ට මයික් අල්ලති. 

විනය ගරුක පුරවැසියාගේ අයිතිය ඉල්ලන්නේ කාගෙන්ද ?

ස්වර්ණවාහිනියේ මාධ්‍ය අම්බරුවන් විසින් සිය පෞද්ගලිකත්වය විනාශ කළ ඒ ස්වාධීන පුරවැසියාට සිදුවූ මානසික පීඩනයට, ඔහුගේ පෞද්ගලිකත්වය විනාශ කිරීමට මෙන්ම එම විනයගරුක පුරවැසියා සිදුකළ අපහාසයට වන්දි ගෙවන්නේ කව්ද? ඒ සඳහා එම පුරවැසියාට පැමිණිලි කිරීමට යාන්ත්‍රණයක් තිබේද? මෙවැනි අපහසුතාවයකට තවත් පුරුවැසියෙක් පත් නොවනු බවට සහතිකයක් දිය හැකි ආයතනික ව්‍යුහයක් අපට තිබේද? අසරණ මිනිසුන්ගේ රන් ආභරණ සූරා කෑ පොලී මුදලාලියෙකුගෙන් මාධ්‍ය රස්සාව උගෙන ගත් අම්බරුවන්ට මිනිස් ජීවිත ගැන අබමල් රේණුවක හෝ හැඟීමක් නැති වුවද ජනතාව වෙනුවෙන් වගකිව යුතු රජයකට නිහඬව සිටිය හැකිද?

සංඛ අමරජිත් නමැති අම්බරුවා කීර්තිමත් ඔපෙරා ගායිකාවකගේ ගායන විලාශය රමණයේ යෙදෙන බැළලියකට සමාන කරන විට ඇයට සිදුවූ අපහාසයට වගකියන්නේ කවරෙක්ද? තවත් එවැනි වර්ගයේ සතෙක් වන චතුර රාජපක්ෂ  (පෙර අල්විස්) උදෑසන පුවත් පත් කියවීමට මුවා වෙමින් රට තුල සිංහල බෞද්ධ වර්ග වාදය ඇවිලවීමට උත්සාහ කරන විට එමගින් අගතියට පත් වන සුළු ජාතිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින්නේ කවුද ? 

රජයට හෝ පෞද්ගලික සමාගම් වලට අයත් විද්‍යුත් මාධ්‍ය මගින් අගතියට පත් වන සියළු පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිටීමේ වගකීම රජයකට පැවරෙයි. එවැනි තත්ත්වයක් යලි ඇති නොවීමට කටයුතු කිරීමේ වගකීමද රජය සතු වෙයි. 

දිවයින නමැති පත්තර කඩමාල්ල සිංහල බෞද්ධ ජාතිවාදය වපුරමින් රට ගිනි තැබීම සහ ‘දෙරණ‘ හෝ ‘ස්වර්ණවාහිනිය‘ එම ව්‍යාපෘතිය මෙහෙයැවීම සමාන නොවේ. ලංකාවේ සිටින ඕනෑම හොර අරක්කු කාරයෙකුට, බුකී කාරයෙකුට, කැසිනෝ කාරයෙකුට හෝ මාෆියා කළු සල්ලි කාරයෙකුට පුවත් පතක් මුද්‍රණය කළ හැකිය. එම පුවත් පත් වල අන්තර්ගතය පිලිබඳව වගකිව යුත්තේ ඒවායේ අයිතිකරුවන් ය. පුවත් පත් මුද්‍රණය සඳහා යොදවන්නේ ඔවුන්ගේ ප්‍රාග් ධනය ය. 

විද්‍යුත් තරංග අයිතිය මහජනතාවගේය: එය රැකීම රජයේ අත් හළ නොහැකි වගකීමකි

එහෙත් රූපවාහිනී හෝ ගුවන් විදුලි හෝ විකාශන අයිතිය එයට සමාන නොවේ. රූපවාහිනී හෝ ගුවන් විදුලි සමාගම් සිය විකාශනය සඳහා යොදා ගන්නා විද්‍යුත් තරංග සංඛ්‍යාත පරාසය ඔවුනට අයත් නොවේ. එ්වා යේ සම්පූර්ණ අයිතිය හිමිවන්නේ අදාල රටේ පොදු මහජනතාවට ය. එය පොදු දේපොලක් මිස පෞද්ගලික ප්‍රාග්ධනය මගින් අත්පත් කර ගත හැකි වස්තුවක් නොවේ. රටේ පොදු ජනතාවට අයත් විද්‍යුතා තරංග සඛ්‍යාත පරාසය ආරක්ෂා කිරීම නියාමනය  සහ මෙහෙයැවීමේ වගකීම පොදු ජනතාවගේ භාරකරු වන රජයට පැවරෙන අත් හැරිය නොහැකි වගකීමකි. පොදු ජනතාවට අයත් සංඛ්‍යාත උපයෝගී කර ගනිමින් මෙම විද්‍යුත් මාධ්‍ය ආයතනයන් එම ජන කන්ඩායමටම අපහාස කරන විට අවලාද නගන විට ඒ වෙනුවෙන් මැදිහත් වීමේ අත් හැරිය නොහැකි වගකීමක් රජය සතු වෙයි.

එහෙත් අවාසනාවකට මෙන් ලංකාවේ සිටින විද්‍යුත් මාධ්‍ය අම්බරුවන් පොදු ජනතාවට අයත් සංඛ්‍යාත උපයෝගී කර ගනිමින් පිස්සු නටන විට ඒ පිලිබඳ ක්‍රියාත්මක වීමට කිසිදු ස්වාධීන ආයතනයක් නොමැත. පෞද්ගලික ක්ෂේත්‍රය රූපාවාහිනී සහ ගුවන් විදුලි විද්‍යුත් මාධ්‍ය ව්‍යාපාරයට එක් වී දශක දෙකකට වැඩි කාලයක් ගත වී ඇතත් එවැනි ව්‍යුහයක් ස්ථාපිත කර ගැනීමට අපි අසමත් වී සිටින්නෙමු. 

පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ක්‍රියාත්මක වන බහුතරයක් රටවල ස්වාධීන නියාමන කොමිසම් ස්ථාපිත කර තිබේ. නියාමනය යනු විද්‍යුත් මාධ්‍ය වාරණය කිරීම නොවේ. එහෙත් පොදු ජනතාවට අයත් සංඛ්‍යාත අවභාවිතා කරන අවස්ථාවන්හිදී මෙම නියාමන කොමිසම් වෙත පැමිණිලි කිරීමේ හැකියාවක් පොදු ජනතාව සතු වෙයි. අදාල විද්‍යුත් මාධ්‍ය විකාශන සමාගම් තමන්ගේ සීමාව අතික්‍රමණය කර ඇතිද යන්න මෙම නියාමන කොමිසමේ පරීක්ෂා කරන අතර ඒ පිලිබඳ අදාළ ක්‍රියාමාර්ග ද අනුගමනය කරයි. නියාමනයේ මූලික අදහස පොදු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමයි. 

පොදු ජනතාවට අයත් සංඛ්‍යාත පරාසය, විකාශන කටයුතු සඳහා අදාල සමාගම් වලට බෙදාදීමේ වගකීම රජය වෙත පැවරෙයි. එම වගකීම රජය විසින් ස්ථාපිත කරන නියාමන කොමිසම් වලට පැවරීම බොහෝ රටවල සිදුවන සම්මතයයි. ඇතැමි රටවල නියාමන කොමිසම් නිශ්චිත කාලයක් සඳහා අදාල සංඛ්‍යාත එම විකාශන සමාගම් වලට පවරයි. 

තවත් රටවල නියාමන කොමිසම් අදාල සමාගම් විකාශන ව්‍යාපාරයේ නිරත වන තෙක් සංඛ්‍යාත වෙන් කරයි.

එහෙත් කුමන අන්දමකට සංඛ්‍යාත වෙන් කළද, එම සංඛ්‍යාත භාවිතය අත් හිටුවීමේ බලය එම ස්වාධීන නියාමන කොමිසම් වලට හිමි වෙයි. එවැනි අත් හිටුවීම් සිදුවනුයේ දීර්ඝ ස්වාධීන පරීක්ෂන වලින් පසුවයි. 

සංඛ්‍යාත අත් හිටුවීම අවසාන අදියර වන අතර එයට පෙර අවවාද කිරීම්, දඩ ගැසීම්, සිදුවෙි. සංඛ්‍යාත අත් හිටුවීමේ සිද්ධීන් දුර්ලභ වන අතර එයට පෙර ගන්නා ක්‍රියාමාර්ග හරහා තම වැරදි නිවැරදි කර ගැනීමට බොහෝ විද්‍යුත් මාධ්‍ය ආයතන ඉදිරිපත් වෙති. මහජන වගකීමක් සහිත බොහෝ ආයතන ස්වයං ශිෂ්ඨත්වයක නිරත වෙති. නැතහොත් ස්වයං නියාමනයක නිරත වෙති. 

පිස්සු කෙළිය හැක්කේ ලංකාවේ පමණි

ඕනෑම සමාගමකට සංඛ්‍යාත ලබා දෙන ක්‍රමවේදයක් ලෝකයේ කිසිදු රටක් අනුගමනය නොකරයි. ඔවුන්ට විද්‍යුත් විකාශන සමාගමක් පවත්වා ගැනීමට අවශ්‍ය මූලික ප්‍රාග්ධනය සපයා ගන්නා ආකාරය තහවුරු කිරීම මූලික කඩ ඉමයි. අදාල සමාගමේ කොටස් කරුවන් ගේ අනෙකුත් ව්‍යාපාරික භාවිතාවයද තියුණු පරීක්ෂණයක ලක් කරන මෙම නියාමන කොමිසම් ලබැඳියාවන් අතර ගැටුම් පවතීද යන්න පරීක්ෂා කරයි. එම මූලික පරීක්ෂණයෙන් සමත් වන සමාගම් වලට අදාල සංඛ්‍යාත මිලදී ගැනීමට ඉල්ලුම් කළ හැකිය.

ඇතැමි රටවල නියාමන කොමිසම් අදාල සංඛ්‍යාත පරාසය වෙන්දේසි කර වැඩිම ඉල්ලුමට ලබා දෙයි. තවත් රටවල නියාමන කොමිසම් සිය නියාමන ප්‍රමිතිය අනුව සුදුසුම සමාගම් තෝරා සංඛ්‍යාත අලෙවි කරනු දැකිය හැකිය. කුමන ක්‍රමයක් අනුගමනය කළද එය ස්වාධීන සහ විනිවිද භාවයෙන් යුක්ත විශ්වාසනීයත්වය තහවුරු කරන ක්‍රියාවලියකි. 

එහෙත් අවාසනාවකට ශ්‍රී ලංකාවේ එවැනි නියාමන යාන්ත්‍රණය්ක නොමැත. විදුලි සංදේශ නියාමන කොමිසම නමින් තිබෙන්නා වූ කොමිසමට සංඛ්‍යාත බෙදා හැරීමේ බලය සහ එය අත් හිටුවීමේ බලය මිස ජනතාවගේ පැමිණිලි බාර ගෙන ඒවා විසඳීමේ අයිතියක් නැත. අනෙක එය ස්වාධීන කොමිසමක් නොවන අතර සම්පූර්ණයෙන්ම රාජ්‍ය අතකොලුවක් වූ කොමිසමකි. පූර්ණ රාජ්‍යයත් නොවන විධායකයේ අතොකොලුවක් වූ කොමිසමකි.  

පැමිණිලි බාර ගැනීමක් නොවන බැවින් විද්‍යුත් මාධ්‍ය අයිතිකරුවන් සහ මාධ්‍ය අම්බරුවෝ රිසි සේ පිස්සු කෙළිති. පහරති. ශ්‍රී ලංකාවේ සංඛ්‍යාත පරාසය බෙදා දීම ද කිසිදු විනිවිද භාවයකින් තොරව සිදුවන අංක එකේ මූල්‍ය ජාවාරමකි. ප්‍රේමදාස ජනාධිපතිවරයාට සමීපව ව්‍යාපාරික කටයුතු සිදුකළ මහාරාජා 1992 දී විද්‍යුත් විකාශන සඳහා සංඛ්‍යාත ලබා ගන්නා විට එවැනි මාධ්‍ය ආයතනයක් බිහි කිරීමට ඔහු තුල කිසිදු සූදානමක් නොවීය. එය දේශපාලන හිතවත් කමට සිදුවූ සංඛ්‍යාත වෙන් කර දීමකි. 1994 දී බලයට පත් වන චන්ද්‍රිකාගේ පොදු පෙරමුණු රජයද එම ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යමින් හිතවත් කම් මත සංඛ්‍යාත බෙදා දීම සිදුකරනු ලබයි. මෙම ක්‍රියාවලිය වඩත්ම දරුණු තත්ත්වයට පත්වූයේ 2005 දී මහින්ද රාජපක්ෂ බලටය පත්වූ පසුවය . විදුලි සංදේශ නියාමන කොමිස හරහා මෙය මහා පරිමාණ ජාවාරමක් බවට පත් කරගන්නා රාජපක්ෂලා ඒ හරහා මිලියන ගණනින් මුදල් ගරා ගත්හ.

වැලේ වැල් නැතිව සිටි රාජ්‍ය සේවකයෙකු වූ අනුෂ පැල්පිට නම් රාජපක්ෂගේ සට්ටැඹියා කෝටිපතියෙකු වූයේ පොදු ජනතාවට අයත් සංඛ්‍යාත කිසිදු සුදුසුකමක් නැති මාෆියා ව්‍යාපාරිකයන්ට විකිණීම මගිනි. 

රාජපක්ෂ රෙජීමය විසින් පසුගිය වසර 10 ක කාලය පුරා සංඛ්‍යාත සඳහා අලුතින් බලපත්‍ර ලබාගෙන ඇති ව්‍යාපාරිකයන් පිලිබඳ පරීක්ෂා කරන විට එම ව්‍යාපාරිකයන්ගෙන් අති බහුතරයකට විද්‍යුත් මාධ්‍ය ආයතනයක් ස්ථාපිත කිරීමේ හැකියාවක් නොමැති බව පැහැදැලිය. ඔවුන් බොහෝ දෙනා සිදුකර ඇත්තේ එම බලපත්‍රය තවත් ජාවාරම් කාරයෙකුට විකුණා ගාණක් කපා ගැනීමය.

මෙහි හොඳම උදාහරණය ජනතා විමුක්ති පෙරමුණයි. 2005 දී මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒම වෙනුවෙන් කරන ලද කැප කිරීමට හිලව්වට මහින්දගේ ආණ්ඩුව ජවිපෙට සංඛ්‍යාත ලබා දුන්නේය. චැනල් ‘වී‘ නමින් ප්‍රසිද්ධ වූයේ එයයි . අවසානයේ මහා විප්ලවකාරයින් වන ජවිපෙ එම සියළු සංඛ්‍යාත ජොන්ස්ටන් ප්‍රනාන්දු වැනි මගෝඩියෙකුට රුපියල් කෝටි 50 කට විකුණා ගාණ සාක්කුවේ දා ගත්තේය. විප්ලවය කරන්නෝ තමන්ගේ අතේ තිබූ ‘මාධ්‍ය හැකියාව‘ එතනෝල් කාරයන්ට විකිණුවේ එහෙමය. ‘පත්තරයක් යනු සංවිධායකයෙක්‘ යැයි කී ලෙනින් සිටියා නම් ‘හරාකිරි‘ කර ගෙන මියැදෙනවා සිකුරුය. 

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ආයතන ලෙස සැලකිය හැක්කේ ‘සිරස‘, ‘ස්වර්ණවාහිනී‘, ‘දෙරණ‘ සහ ‘හිරු‘ ය. ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව සංසන්දනය කරන විට මෙම ආයතන සඳහා සංඛ්‍යාත බලපත්‍ර ලබා දෙනවා තබා ඒ සඳහා ඉල්ලුම් කිරීමට හැකි මූලික ප්‍රමිතීන් වත් සපුරා ගැනීමට හැකිවේද යන්න සැක සහිතය. මෙම ආයතන හතරේම අයිතිකරුවන් අනෙකුත් ව්‍යාපාර සහ විද්‍යුත් මාධ්‍ය විකාශන කටයුතු අතර ලබැඳියාවන් පිලිබඳ ගැටුම් තිබේ. 

මත්ද්‍රව්‍ය බෙදා හැරීම, මුදල් විශුද්ධිකරණය, අපැහැදැලි ව්‍යාපාර සම්බන්ධතා,  පැහැදිලි කළ නොහැකි අධික මුදල් ඉපැයීම්, දේශපාලන සම්බන්ධතා ඇතුලු චෝදනා රැසක් ඔවුනට එල්ල වී ඇත. එවැනි දූෂිත මාෆියා ව්‍යාපාරිකයන්ට රූපාවාහිනී, ගුවන් විදුලි සේවා ආදිය පවත්වා ගෙන යෑමට සංඛ්‍යාත පවරා දෙන ලෝකයේ එකම රට සිරි ලංකාවය.

බලතල සහිත විද්‍යුත් මාධ්‍ය නියාමන කොමිසමක් පත් කළ යුතුමය.

යහපාලන රජයද, රාජපක්ෂ රෙජීමයේ ගමන් මගට යමින් බලයට පත්වූ සැනින් මහාරාජාට තවත් විකාශන රැසක් සඳහා සංඛ්‍යාත වෙන් කර දුන්නේ ය. කිසිදු විනිවිද භාවයකින් තොරව පොදු ජනතාවට අයත් සංඛ්‍යාත බෙදා දීමේ වැඩ පිලිවෙල නවතා දැමීමට දැන් කාලය පැමිණ ඇත. තව දුරටත් මෙම දූෂිත ක්‍රියාදාමය ඉදිරියට ගෙන යෑමට ඉඩ දිය නොහැක. පොදු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා බලතල සහිත විද්‍යුත් මාධ්‍ය නියාමන කොමිසමක් පත් කළ යුතුමය.

තම පෞද්ගලික දේශාපලන න්‍යාය පත්‍රයන් ඉදිරියට ගෙන යෑමට තැත් කරන මාධ්‍ය අයිතිකරුවන් හා පිස්සු කෙළින මාධ්‍ය අම්බරුවන් පාලනය කළ හැක්කේ එවැනි නියාමනයකින් පමණි. ‘දෙරණ‘ සිද්ධියේදී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ විවේචනය ඉදිරියේ පරල වූ මාධ්‍ය සංවිධානයන්ට පවා පොදු ජනතාවට අයත් සංඛ්‍යාත සහ ඒවා භාවිතය නියාමනය කිරීම පිලිබඳ කිසිදු ගැඹුරු අවබෝධයක් නොමැති  බව ඔවුනගේ නිවේදන අධ්‍යයනය කරන විට පැහැදිලි වේ. ඔවුහු සුපුරුදු මාධ්‍ය මර්දන සටන් පාඨයේ එල්ලී සිටිනවා හැරෙන්නට ඵල දායක විවේචන ඉදිරිපත් නොකරති. 

මෙරට පොදු ජනතාවට අයත් සංඛ්‍යාත අපහරණය කිරීම වැළැක්වීමේ අත්හැරිය නොහැකි වගකීම රජය සතුය. එබැවින් ඒ සඳහා බලතල සහිත ස්වාධීන නියාමන ව්‍යුහයක් ස්ථාපිත කිරීමට රජය ක්‍රියා කළ යුතුය. පාර්ලිමේන්තුවේ සියළුම දේශපාලන පක්ෂ, මාධ්‍ය සංවිධාන, සිවිල් සංවිධාන ආදියෙකි එකඟතාවයකින් එවැනි නියාමන යාන්ත්‍රණයක් පිහිටුවා ගත හැකිය.

දූෂිත මාෆියා ව්‍යාපාරිකයන් රටේ ආණ්ඩු පිඑිටුවන, පෙරළන බලය අතට ගැනීම හෝ දේශාපාලන පක්ෂ පාලනය කිරීමේ උත්සාහයන් පරාජය කළ හැක්කේ මෙවැනි යාන්ත්‍රණයකිනි. මෙම ව්‍යාපාරික මාෆියාවේ මාධ්‍ය අම්බරුවන් අපේ නිදන කාමර වලට කැමරා එල්ල කර රමණයේ හරි වැරැද්ද පෙන්වා දෙන දිනය වළක්වා ගත හැක්කේ මෙවැනි නියාමනයක් මගින් පමණි.

එවැනි ස්වාධීන නියාමන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා දේශපාලනඥයන්ට මෙන්ම ජනතාවට සිහි ණුවන පහල වේවා..!

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close