Breaking News
Home / Gossip / මහ බැංකුව රකින්න පුරවැසියන් සටනේ

මහ බැංකුව රකින්න පුරවැසියන් සටනේ

මහ බැංකු අධිපතිවරයාගේ ධුර කාලය මෙම මස අවසානයේ නිමා වීමත් සමඟ ඔහුගේ සේවය තවදුරටත් දිගු නොකරන ලෙසට බලකරමින් පසුගියදා කොළඹ මහජන පුස්තකාලයේදී මහජන සම්මන්ත්‍ර‍ණයක් පවත්වන ලදී. ඊට දූෂණ විරෝධී පෙරමුණ, වමේ කේන්ද්‍ර‍ය, වෘත්තීය සමිති සම්මේලනය, බැංකු සේවා සංගමය, අලුත් පරපුර, දූෂණ විරෝධී තරුණ ව්‍යාපාරය, එක්සත් වෘත්තීය සමිති කේන්ද්‍ර‍, සොබා සාමුහිකය, යහපාලනය සදහා නීතිඥයෝ, එක්සත් යහපාලන පෙරමුණ, පළමු පෙරමුණ හා සාධාරණ සමාජයක් සදහා වු ජනතා ව්‍යාපාරය ඇතුළු සිවිල් සංවිධාන තිහකට අධික සංඛ්‍යාවත් සහභාගී විය. එහිදී අදහස් දැක්වු සිවිල් ක්‍රියාකාරිකයන් එක හඩින් කියා සිටියේ මහ බැංකුවට අරක්ගෙන සිටින සිංගප්පුරු රකුසා වහා පන්නා දැමිය යුතු බවයි. විශාල ජන සහභාගිත්වයකින් පැවති මෙම සම්මන්ත්‍ර‍ණය රජයට මෙන්ම ජාතිවාදී ඒකාබද්ධ විපක්ෂයටද පුරවැසි බලය පෙන්වන ලද කදිම අවස්ථාවක් විය.

එහිදී අදහස් දැක්වු ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා විසින් අවධාරණය කර සිටියේ යහපාලනයට සලුපිලි අන්දන ලද්දේ සෝභිත හිමියන් ඇතුළු සිවිල් සංවිධාන වලින් වන හෙයින් එම යහපාලන සලුපිලි ඉවත් කළහොත් මෙම රජය නිරුවත් වන බවයි. මෙම සටන හුදෙක් මහ බැංකු අධිපතිවරයාට එරෙහි සටනක් පමණක් නොවන බවත් මෙම රජය ගෙනයන සමස්ථ වැඩපිළිවෙලටම එල්ලවන දැවැන්තම අභියෝගය මෙය බවත් ඔහු කියා සිටියේය. එහිදී අදහස් දැක්වු දූෂණ විරෝධී පෙරමුණෙහි සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් කියා සිටියේ රටේ ආර්ථික මරමස්ථානයක් වන මහ බැංකුව වැනි වගකිව යුතු තැනකට ශ්‍රී ලාංකික පුරවැසියෙකු පත්කර ගැනීමට නොහැකි වීම පිළිබදව කණගාටු වන බවයි. එමෙන්ම මේ වනවිට අර්ජුන් මහේන්ද්‍ර‍න් වෙනුවෙන් පෙනී සිටින රජයට සම්බන්ධ විවිධ පාර්ශව පිළිබදව කණගාටු වන බවත් ඔවුන් එලෙස මහ බැංකු අධිපතිවරයාව ආරක්ෂා කරන්නෙ රෙදි ඇදගෙන දැයි උන්වහන්සේ ප්‍ර‍ශ්ණ කරයි.

ඒකාධිපති රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට කැපවී ක්‍රියා කළ අලුත් පරපුර සංවිධානය වෙනුවෙන් අදහස් දැක්වු රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා මහත්මිය කියා සිටියේ ජනවාරි අට විප්ලවය කියා හදුන්වන වෙනස හුදු ආණ්ඩු පෙරළියක් පමණක් බවට පත් නොකර සැබෑ යහපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීටම ජනාධිපතිවරයාට බල කරන බවයි. එහිදී මහ බැංකු අධිපතිවරයා සහ ඔහුගේ බෑනා විසින් සිදුකළ බරපතළ මූල්‍ය වංචා පිළිබදව දීර්ඝ පැහැදිලි කිරීමක් චන්ද්‍රා ජයරත්න මහතා විසින් සිදු කළ අතර පළමු පෙරමුණ සංවිධානය වෙනුවෙන් සභාව ඇමතු චන්ද්‍ර‍සිරි විජේසිංහ මහතා කියා සිටියේ ජනවාරි අට විප්ලවය පාවාදීමට කිසිසේත් ඉඩ නොදෙන බවයි. වෘත්තීය සමිති සම්මේලනය වෙනුවෙන් අදහස් දැක්වු දුමින්ද නාගමුව මහතා මෙම අරගලය අර්ජුන් මහෙන්ද්‍ර‍් ඉවත් කිරීමෙන් නතර නොකොට ඔහු විසින් හොරකම් කරන ලද මුදල් නැවත ලබා ගැනීමට පියවර ගත යුතු බව අවධාරණය කර සිටියේය. කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂක කීර්ති තෙන්නකොන් මහතා අදහස් දක්වමින් කියා සිටියේ මෙම අරගලය මහ පොළවට ගෙනයාම යහපත් සමාජයක් අපේක්ෂා කරන සියලුදෙනාගෙ යුතුකම හා වගකීම වන බවයි.

මෙම සම්මන්ත්‍ර‍ණය අතරතුර මහජන පෙත්සමක්ද අත්සන් තබන ලද අතර වර්තමාන මහ බැංකු අධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීම මූල්‍ය පනතේ 16 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ඉවත් කිරීමට පැවරී ඇති බලතල යටතේ වර්තමාන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වන ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිය ධුරයෙන් වහාම ඉවත් කරන මෙන් ඉල්ලා අත්සන් කරන ලද ලියවිල්ලෙහි අඩංගු කරුණු පහත දැක්වේ.

01) වර්තමාන මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා, වර්ෂ 2015 ජනවාරි 08 වන දා පිහිට වු යහපාලන රජයේ මුඛ්‍ය වටිනාකම් වලට හා ප්‍රතිපත්තිවලට ඉඳුරා ප්‍රතිවිරුදධව ක්‍රියාකරමින් ශ්‍රී ලංකා රජයට හා එහි ජනතාවට, පිළිවෙලින් රුපියල් කෝටි 6000 ක් හෙවත් රුපියල් බිලියන 06 ක අක්‍රමිකතාවයක් වර්ෂ 2015 පෙබරවාරි මස 27 වන දින ප්‍රකාශයට පත් කරන ලද වසර 14 ක් සඳහා වු භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේදී ද ඉන්පසුව ඊට එරෙහිව ඇති වු මහජන විරෝධය නොතකමින් වර්ෂ 2016 මාර්තු මස 29 දින පැවති බැඳුම්කර වෙන්දේසියේදී ද රජයට හා එකී ජනතාවට රුපියල් කෝටි 7000 ක් හෙවත් රුපියල් බිලියන 07 ක අක්‍රමිකතාවයක් සිදු කිරීමට සෘජුව හා/හෝ වක්‍රව සම්බන්ධවී මූල්‍යමය හා ප්‍රතිපත්තිමය අක්‍රමිකතා සිදු කිරීම.

02) එකී අක්‍රමිකතාවය සිය බෑණනුවන් වන අර්ජුන් ඇලෝෂියස් මහතාට හිමි ෆර්ෆෙට්‍රල් ට්‍රෙෂරීස් නැමති සමාගමක් සමග වංක සහයෝගයෙන් යුතුව කටයුතු සිදු කිරීම.

03) අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන තත්ත්වයක් තුළ, මහ බැංකුවේ අධිපති ධුරය දැරිය හැකි රාජ්‍ය නිලධාරියෙක් ලෙස, තම කාර්යය අවංකව, සද්භාවයෙන් හා කාර්යක්ෂමව සිය රටට හා ජනරජයට ඉටු කිරීමට ඔහුට ඇති නොහැකියාව ජනිත කොට තිබේ. ඒ නිසාම ආණුඩු ක්‍රම ව්‍යවස්ථාවේ 61 වන වගන්තිය යටතේ 04 වන උපලේඛනය යටතේ ශ්‍රී ලාංකික ජනරජය ආරක්ෂා කිරීමේ දිවුරුම ලබාදීමට නීතිය ඉදිරියේ නොහැකියාවක් ජනිත කොට තිබීම.

04) පසුගිය වසර එකහමාරක කාලයක් තුළ, ඔහු දැනට දරන සිංගප්පූරු පුරවැසිභාවය ඉවත දමා ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගැනීමට හැකියාවක් තිබියදී වර්තමාන රජයද මෙරටේ ජනාධිපතිවරයාද නොමග හරිමින් නිවැරදි නොවන වීසා තත්ත්වයක් යටතේ මහ බැංකු අධිපතීත්වය දැරීමට කටයුතු කිරීම.

05) රටේ මහ බැංකුවේ අධිපතීත්වය දරමින් විදේශීය මූල්‍ය සමාගම් රැසක සාමාජිකත්වය දරමින් ආදායම් ඉපයීම. එමගින් මූල්‍ය පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීම.

06) මෙතෙක් ශ්‍රී ලංකා මහ බැංකුව, රජය සඳහා ණය ලබාගැනීමේදී අනුගමනය කරමින් සිටි ප්‍රසිද්ධ වෙන්දේසි ක්‍රමය හා සෘජු ස්ථාපන ක්‍රමවේදය උල්ලංඝනය කරමින්, රජයට ණය ලබාගැනීමේදී ප්‍රාථමික ගණුදෙනුකරුවන් හා මූල්‍ය වෙළඳපොළ ප්‍රමුඛතම ක්‍රියාකාරීන් හට, පොලී අනුපාත අයථා අන්දමින් හැසිරවීමට ඉඩ ලබාදෙමින් එකී ප්‍රාථමික ගණුදෙනුකරුවන්ට හා මූල්‍ය වෙළඳපළ ප්‍රමුඛ ක්‍රියාකාරීන්ට, අයුතු ධනවත්වීමට හැකියාවක් සහිත වාතාවරණයක් ඇති කිරීම.

07) තෝරාගත් ප්‍රාථමික ගණුදෙනුකරුවන් හා මූල්‍ය වෙළඳපල ප්‍රමුඛතම ක්‍රියාකාරීන් කොටසක් අයුතු ධනවත් කරවීම අරමුණු කර ගනිමින් බැඳුම්කර වෙනේදේසීන් තුළ ඔවුන්ගේ ඒකාධිකාරිය තහවුරු කරනු වස් රජය සතු සුවිශාල අරමුදලක් වන සේවක අර්ථසාධක අරමුදල, බැඳුම්කර වෙන්දේසියේදී ප්‍රාථමික ගණුදෙනුකරුවෙකු ලෙස ක්‍රියා කිරීම, චේතාන්විතවම වැළැක්වීම.

08) තමන් විසින් තෝරාගත් ප්‍රාථමික ගණුදෙනුකරුවන්ට අනීතික ලෙස ලබාදුන් බැඳුම්කර, ද්විතීක වෙළඳපළ තුළ සේවක අර්ථ සාධක අරමුදලට විකිණීමට සලස්වා, සේවක අර්ථසාධක අරමුදලට චේතනාන්විතවම අලාභ සිදු කිරීම.

09) මෙකී සියලු අක්‍රමික ප්‍රතිපත්ති තීන්දු තීරණ මූල්‍ය පනත යටතේ පිහිටුවා ඇති ඉහළම ආයතනය වන මූල්‍ය මණ්ඩලයට නොදන්වා එහි අනුමැතියෙන් තොරව ක්‍රියාකත්මක කිරීම.

10) පසුගිය මාස 14 ක කාලය තුළ දින 140 ක් විදේශගත වෙමින් මහ බැංකුවේ කාර්යයන් කාර්යක්ෂමව හා ඵලදායක ලෙස ඉටු කිරීම චේතනාන්විතවම හා නොසැලකිලිමත් ලෙස අතපසු කර තිබීම.

11) මහ බැංකුවේ අධිපති තනතුර අවභාවිත කරමින් රාජ්‍ය මූල්‍ය අපහරණය කිරීම. 28 වතාවක් විදේශ ගතවීම සඳහා ද රට තුළ පදිංචිවී නොසිටියද (සිය පවුල සංගප්පූරුවේ පදිංචිව සිටීයි.) නිල නිවාස දෙකක් නඩත්තු කිරීමට ද, විදේශ සංචාරවලදී අධි සුඛෝපභෝගී හෝටල්වල නැවතී සිටීම සඳහා ද රට අභ්‍යන්තරයේ ගුවන් ගමන් සඳහා ද මහ බැංකුව විසින් මෙතෙක් අනුගමනය කරන ලද මුදල් සීමා නොතකමින් රාජ්‍ය මූල්‍ය හිතුවක්කාරී ලෙසද අයථා ලෙසද වියදම් කිරීම. ඉහත තත්ත්වයන් යටතේ වර්තමාන මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කරනු ලැබ සිටින ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන් මහතා රටේ ප්‍රමුඛතම හා රටේ පැවැත්මට අතිශයින් වැදගත්වන්නා වු මෙන්ම මූලෝපායික මර්මස්ථානය වන මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කිරීමට තරම් නොවන්නේ යැයි අප විශ්වාස කරන්නෙමු.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close