Breaking News
Home / Gossip / මගෙත් ලොකුම ආශාව ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පුහුණුකරු වීමයි

මගෙත් ලොකුම ආශාව ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පුහුණුකරු වීමයි

පෙරළිකාර බංග්ලාදේශයේ පුහුණුකරුවා වන චන්දික හතුරුසිංහ බංග්ලාදේශ කණ්‌ඩායම ආසියානු කුසලාන විස්‌සයි විස්‌ස අවසන් මහා සටනට සුදුසුකම් ලැබීමෙන් අනතුරුව සමග මෙසේ දොඩමලු විය

ප්‍රශ්නය( ඔබ බංග්ලාදේශ් ක්‍රිකට්‌ ක්‍රීඩාව පැහැදිලි වෙනසක්‌ එක්‌ කළ අයෙක්‌. ඒ ගැන මොකද හිතෙන්නේ…?

පිළිතුර( ඇත්තටම රැකියාව පැත්තෙන් මම ගොඩක්‌ සෑහීමකට පත්වෙනවා කිව්වොත් නිවැරදියි. කළ යුතු දේවල් හරි වෙලාවට සිදු කිරීමේදී ඒවා සාර්ථක වීම ගැන මම ගොඩක්‌ම සෑහීමකට පත්වෙනවා. ඉතිං තමන්ගේ රැකියාව හරියට කරන එක ඇරෙන්න වෙන විශේෂ දෙයක්‌ හිතෙන්නේ නෑ.

ප්‍රශ්නය( බංග්ලාදේශ කණ්‌ඩායම නොයෙක්‌ පුහුණුකරුවන් යටතේ පුහුණුව ලැබුවා. විශේෂයෙන්ම ඒ අතර ඔස්‌ට්‍රේ‍ලියානුවන් පවා හිටියා. නමුත් ඒ කිසිම කෙනෙකුට ඔබ කරලා තියෙන දේවලින් 10 න් පංගුවක්‌වත් කරන්න බැරි වෙලා තියෙනවා. ඒ ඇයි…?

පිළිතුර( ඉස්‌සෙල්ලා හිටිය පුහුණුකරුවන් මොනවා කළාද කියලා කියන්න මම දන්නේ නැහැ. දැනගත්තත් ඒවා කියන්නත් හොඳ නැහැ. අනික මම කාවවත් සංසන්දනය කරනවාට කැමැති නැහැ. මම මේක භාර ගන්නකොට බංග්ලාදේශය කාලයක්‌ තිස්‌සේ ක්‍රිකට්‌ සෙල්ලම් කරලා තිබුණ අත්දැකීම් සහිත කණ්‌ඩායමක්‌ හිටියේ. එහිදී මට තිබුණු අභියෝගය තමයි එයාලාව කණ්‌ඩායමක්‌ විදියට එකතු කරලා තරගයකට සහභාගි කරවන එක. ඒ වගේම තමයි එයාලා පුහුණුවීම් සිදු කිරීම සඳහා පුරුදු වෙලා තිබුණු ක්‍රමවේදය වෙනස්‌ කරන එක. ඒ දේ මම කළා.

ප්‍රශ්නය( මොවුන්ගේ දක්‌ෂතා එළියට අරගන්න කොයි වගේ දේවල්ද ඔබ සිදු කළේ…?

පිළිතුර(- මේ ක්‍රීඩකයෝ ගොඩක්‌ කල් ක්‍රීඩා කරල තිබුණත් ඔවුන්ගේ මානසික මට්‌ටම තිබුණේ පහළ මට්‌ටමක. එහිදී මම ගොඩාක්‌ම බැලුවේ එයාලගේ මානසික ඒකාග්‍රතාවය හරි තැනකට ගෙන එන්න. එක තමයි ප්‍රධානම දේ වුණේ. අනිත් එක තමයි කණ්‌ඩායම තුළ හොඳ වාතාවරණයක්‌ නිර්මාණය කරපු එක. ඒ කියන්නේ තරගයකදී වැරදි කරන එකේ බය නැති කරන එක. තේරෙන විදියට කියනවානම් මැදට ගිහිල්ලා දෙයක්‌ උත්සාහ කරන්න තියෙන බය නැති කරවන්න ඕන. පුහුණුකරුවකු ලෙස අපි ඒ දේ කණ්‌ඩායමක්‌ තුළ නිර්මාණය කළ යුතුම දෙයක්‌. ක්‍රීඩකයෙක්‌ එහෙම උත්සාහයක්‌ කරලා වැරදුනාට කිසිම දඬුවමක්‌ නොදී ඉන්න එක. වැරැද්දක්‌ කරලා එළියට ආවාම බනිනවා නම් ඒ ක්‍රීඩකයා ඒ දේ කරන්න බය වෙනවා. ඒක හරියන දෙයක්‌ නොවෙයි. ඒ වගේ වාතාවරණයක්‌ හැදුව එකයි පුහුණු කරන ක්‍රමවේදයයි වෙනස්‌ කරපු එක තමයි ප්‍රධාන වශයෙන්ම. කළේ, පුහුණුකරුවන් ලෙස අපි ඒ දේ හැදිය යුතුම දෙයක්‌.

ප්‍රශ්නය( 1996 ලෝක කුසලානය දිනපු ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ඩේව් වට්‌මෝර් පවා බංග්ලාදේශයේ පුහුණුකරු ලෙස කටයුතු කළා. නමුත් ඔහුටත් මේක ගොඩදාන්න බැරි වුණාම කිව්වේ පුහුණුකරු දක්‌ෂ වෙලා විතරක්‌ මදි, පුහුණුව ලබන ක්‍රීඩකයොත් දක්‌ෂයන් විය යුතුයි කියලා. ඔබ මොකද ඒ ගැන කියන්නේ…?

පිළිතුර( තේරෙන සිංහලෙන්ම කියනවා නම් දක්‌ෂ ක්‍රීඩකයෝ ඉන්න ඕන. ක්‍රීඩකයෝ නැති වුණාම මේ කටයුතු කරන්න ටිකක්‌ අමාරු වෙනවා. එහෙම කියලා ලෝක කුසලානයක්‌ දිනන්න බැරි වුණත් ඉන්න තරමට වඩා දියුණු කරන්න පුළුවන් වාතාවරණයක්‌ තියෙනවා කියලා මම විශ්වාස කරනවා. උපක්‍රමශිලීව සහ තාක්‌ෂණය උපයෝගී කරගෙන පුරුදු පුහුණු වුණා නම් ඕනෑම කණ්‌ඩායමක්‌ ඉන්න තරමට වඩා දියුණු කරන්න පුළුවන් පුහුණුකරුවකුට.

ප්‍රශ්නය( මෙතෙක්‌ කරගෙන ආපු වැඩපිළිවෙළේ කොයි වගේ අංශ ගැනද වඩාත් අවධානය යොමු කළේ…?

පිළිතුර( මෙයාලා තාක්‌ෂණික වශයෙන් සාමාන්‍ය තත්ත්වයක හිටියා. නමුත් මානසික ඒකාග්‍රතාවය සහ උපක්‍රමශීලී භාවයෙන් හිටියේ අනිත් කණ්‌ඩායම්වලට වඩා ගොඩක්‌ පහළ තත්ත්වයක. මම කලින් කිව්වා වගේ ඉස්‌සෙල්ලාම කළේ ඔවුන්ට කණ්‌ඩායම තුළ ක්‍රීඩා කිරිම සඳහා වූ හොඳ වාතාවරණය ගොඩනගපු එක. මම දැක්‌ක තව දෙයක්‌ තමයි මෙයලා තරග කිරීමේදි තනි තනි වශයෙන් තමයි තරග වදින්න පුරුදු වෙලා හිටියේ. ඒ අනුව තමන්ව විශ්වාස කරන්න පුළුවන් වාතාවරණයකට මොවුන්ව අරගෙන ආවා. ඒ හරහා එයාලා කරන දේ කණ්‌ඩායමක්‌ හැටියට කරන්න පුරුදු කරා. එහෙම කරලා වරදින අවස්‌ථාවලදීත් අපි ඔවුන්ට උදව් කළා. ඒ වගේ පැති තමයි ගොඩක්‌ම අවධානය යොමු කළේ. තාක්‌ෂණය පැත්තත් අපි තිබුණු තත්ත්වයට වඩා දියුණු කළා. ඔයාලා තරග නරඹනකොට දකින්න ඇති මෙයාලා ඉස්‌සරට වැඩිය දැන් පන්දුවට පහර දෙනවා වගේම පන්දු යවනවා. තාක්‌ෂණය දියුණු කරන එක ඕනෑම තැනක කළ යුතු දෙයක්‌. මේ ඔක්‌කොටම වඩා මම වැඩියෙන් කළේ මානසික ඒකාග්‍රතාවය හදන එක.

ප්‍රශ්නය( සුහදත්වයෙන් කටයුතු කරනවා කියලා කලින් කිව්වට ඔබ ඇතැම් ක්‍රීඩකයන් සමග ප්‍රශ්න ඇති කරගත් අවස්‌ථා අපි දැක්‌කා. ඒ වගේම ඒ ක්‍රීඩකයන් මට්‌ටු කිරීමකට පවා ලක්‌ කළා..?

පිළිතුර( මට්‌ටුකරනවා කියන වචනයට මම කැමැති නැහැ. ඇත්තටම මට්‌ටු කරනවා කිව්වොත් ඒක වැරදියි. ඒ දේ නොවෙයි මම කළේ. නීති දාන එකත් නොවෙයි මම කළේ. හැබැයි හැම ක්‍රීඩකයකුටම මායිම් පෙන්වලා දුන්නා. ඒ කියන්නේ කරන දෙයක්‌ ඒ මායිම ඇතුලේ ඉඳන් එයාලට කරන්න පුළුවන්. හැසිරෙන්න පුළුවන්. ඒ වගෙමයි වෙන මානසික මට්‌ටම්වල අයටත් ඒකෙ ඉන්න පුළුවන්. ඒ වගේම ඒක ඇතුලේ ඉන්න අයට වෙන පෞරුෂයන් තියෙන්නත් පුළුවන්. නමුත් ඒ සියලුදෙනාම අර කිව්ව මායිමේ සිටිය යුතුයි. අන්න ඒ මායිමයි මම පෙන්වලා දුන්නේ. මමයි ඔයයි ගත්තොත් වෙනසක්‌ තියෙනවා. වෙනස්‌ විදියට ඉන්නත් පුළුවන්. හැබැයි කණ්‌ඩායමට ක්‍රීඩා කරද්දී අයහපතක්‌ වෙන විදියට හැසිරෙන්න බැහැ. ඒක තමයි මම ඕන තැනක ගියොත් කරන්නේ. මම ලංකාවේ ඉන්නකොට ‘ඒ ටීම් එකේ කළෙත් ඒකයි.

ප්‍රශ්නය( ඔබ පුහුණුකරු ලෙස වැඩ භාරගත්තට පස්‌සේ ශ්‍රී ලංකාව ඇරුණහම බංග්ලාදේශ පිල ඉදිරියේ දණ නොගසපු කණ්‌ඩායමක්‌ මේ වන විටත් නැහැ. කොහොමද ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවට එරෙහිව මෙහෙයුම දියත් කළේ…?

පිළිතුර( ශ්‍රී ලංකාව සමග කියලා විශේෂ වෙනසක්‌ කළේ නැහැ. ගොඩක්‌ වෙලාවට මගේ ශක්‌තිය වන්නේ පෙර සූදානමයි. මැච් එක දවසට මට මුකුත් කරන්න නැහැ. ඉඳගෙන මැච් එක බලන එක තමයි මම කරන්නේ. හැබැයි ඊට ඉස්‌සෙල්ලා වෙන පෙර සූදානම ගැන වඩාත් අවධානය යොමු කරනවා. විශේෂයෙන් ප්‍රතිවාදී කණ්‌ඩායම් පන්දුවට පහර දෙන විදිය පිළිබඳව. නවීන තාක්‌ෂණයත් එක්‌ක ඒකට නම් මේ දවස්‌වල ඕනෑ තරම් තොරතුරු තියෙනවා. ඒ වගේම ගොඩක්‌ ක්‍රීඩකයන් ගැන මම දන්නවා. සමහරවිට දන්න එකම නරක පැත්තට හැරෙන්නත් ඉඩ තියෙනවා. හැම තරගයකට වගේම ශ්‍රී ලංකාව සමග තරගයේදීත් සිදු කළේ වෙන තරගවලදී කරන දේවල් ටිකම තමයි. හැබැයි පෞද්ගලිකවම ගත්තොත් ශ්‍රී ලංකාව සමග තරගයට එද්දී මට ඒකෙ වෙනස්‌ම හැඟීමක්‌ දනවන්නක්‌ වුණා. මොකද ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් කොහොමද… එයාලා හැසිරෙන්නේ කොහොමද… කියන එක සහ එයාලා අවස්‌ථානුකූලව තරගය මෙහෙයවන විදිය ගැන මට අදහසක්‌ තිබුණ නිසා. ඒ වගේ කරුණු 3 ක්‌ විතර මේ තරගය ජයග්‍රහණය කරන්න උදව් වුණා.

ප්‍රශ්නය( ඔබ ශ්‍රී ලංකා කණ්‌ඩායමෙත් පුහුණුකරුවකු ලෙස කාලයක්‌ සේවය කළා. සංසන්දනාත්මක ගත්තොත් ඒ කාලේ කණ්‌ඩායමයි වත්මන් ශ්‍රී ලංකා කණ්‌ඩායමයි කොයි විදියටද දකින්නේ…?

පිළිතුර( මං බලන්නේ ඇත්තටම ක්‍රිකට්‌ කියන මුල ලක්‌ෂයෙන්. මම හිතනවා ශ්‍රී ලංකාවේ ගොඩක්‌ දක්‌ෂතා තියෙන ක්‍රීඩකයන් ඉන්නවා. මම දකින විදියට මේ සැරේ තියෙන දක්‌ෂතා ගත්තොත් බංග්ලාදේශ කණ්‌ඩායමට වගේම, ඔව් ඊටත් වඩා වැඩි දක්‌ෂතා තියෙන ක්‍රීඩකයන් ඉන්නවා. හැබැයි මම දකින්නේ ඒ දක්‌ෂතාවයේ හරි ප්‍රතිපල ලබන්න කාලයක්‌ යයි කියලා. මොකද අලුත් අයට ක්‍රිකට්‌ ගහන්න තව කල් යනවා. වැරැද්ද වුණේ දැන් නොවෙයි. ඒක වුණේ මීට වසර තුන හතරකට ඉස්‌සෙල්ලා. අපේ සැලසුම්වල. අන්න ඒකයි තියෙන එකම දේ මම දකින පැත්තෙන්.

ප්‍රශ්නය( ඔබ කියන්නේ ඔබව පුහුණුකරු තනතුරින් ඉවත් කරන ලද සිදුවීමත් එක්‌කද…?

පිළිතුර( නෑ මම කිව්වේ අවසන් අවුරුදු තුන හෝ හතර ගැන. මම කියපු දේ මතභේදාත්මක විදියට බලන්න එපා. මොකද කලින් කිව්වා වගේ මම කැමැති නැහැ කාටවත් බනින්න. ඇත්තටම කියනවා නම් මේ තත්ත්වයට එනවා කියන එක එහෙමත් නැත්නම් ක්‍රීඩකයන් විශ්‍රාම ගන්නවා කියන එක අපි කල් තියාම දන්නවානේ. නමුත් ඒකට අපිට හරි සැලසුමක්‌ තිබුණාද කියන එක තමයි මම එළියේ ඉඳන් දකින්නේ.

ප්‍රශ්නය( බංග්ලාදේශ පිලට කණ්‌ඩායම තෝරද්දී ඔබ දැඩි තීරණ අරගත්තා. ඔබ නිතරම බලන්නේ නම ගිය අස්‌සයන් යොදවනවාට වඩා දිනන්න පුළුවන් අස්‌සයො තෝරන එක. වත්මන් ශ්‍රී ලංකා කණ්‌ඩායම ගත්තහම දිනන්න පුළුවන් අස්‌සයෝ ඉන්නවා කියලා හිතන්න පුළුවන්ද…?

පිළිතුර( ඇත්තටම මම දැන් රටින් ගිහිල්ලා අවුරුදු 6 ක්‌ විතර වෙනවා. ඒ කියන්නේ ඒ කාලයේදී මම ලංකාවේ ක්‍රිකට්‌ දැකලාම නැහැ. විශේෂයෙන්ම දේශීය තරගවලදි කවුද හොඳ… කවුද නරක කියලා… මං දකින්නේ දැන් ඔය ඉන්න කට්‌ටියම තමයි. මේ ඉන්න අයගෙන් ගොඩක්‌ අයට හොඳ අනාගතයක්‌ තියෙන අය ඉන්නවා. නමුත් වෙලා තියෙන්නේ ඒ තත්ත්වයට එන්න එයාලට කොච්චර කල් යයිද කියන එක. ලොතරැයියක්‌ ඇදෙනවා වගේ එක පාරටම දාපු ගමන් හරියන්නේ නෑ ක්‍රිකට්‌වල. විශේෂයෙන්ම පිතිකරුවන්ට කාලයක්‌ දෙන්න ඕන. ක්‍රීඩකයෙක්‌ දිහා බැලුවහම ඔහුට කොච්චර දුර යන්න පුළුවන්ද කියන එක බලන්න ඕන. ඒ දක්‌ෂතා එලියට ගන්න සුදුසු වාතාවරණයක්‌ හදන එක අපේ වගකීම වෙන්න ඕන. ඉතිං ඒක තේරීම් කමිටුව විසින් සිදුකරනවා ඇත්තේ ඔය කියන ක්‍රීඩකයන් දැකලනේ. ඒ දක්‌ෂතාවය ඉදිරියට එනකම් අපි කෙතරම් ඉවසනවාද කියන එක තනි තනියෙන් තීරණය කළ යුතු දෙයක්‌.

ප්‍රශ්නය( ඔබ කලින් සඳහන් කළා ක්‍රීඩකයන් විශ්‍රාම ගැනීම මීට ගොඩක්‌ කලින් හිතන්න තිබුණ දෙයක්‌ කියලා. අපේ පළපුරුදු ආරම්භක පිතිකරු ඩිල්ෂාන් අවුරුදු 40 ටත් ළඟයි. කිසියම් විදියකට ඔබේ කණ්‌ඩායමට ඩිල්ෂාන්ගේ සේවය ලබාගන්න අවස්‌ථාවක්‌ ලැබුණොත් ඔබ ඔහුගේ සේවය ලබාගන්නවාද…?

පිළිතුර( ඒ ප්‍රශ්නයට මට පිsළිතුරක්‌ ලබා දෙන්න බැහැ. ඒක මට කතා කරන්න පුළුවන් සීමාවට එහායින් ගිය ප්‍රශ්නයක්‌.

ප්‍රශ්නය( ක්‍රිකට්‌ පරිපාලනයේ තියෙන අඩුපාඩු වත්මන් ක්‍රිකට්‌ ක්‍රීඩාවේ කඩා වැටීමට හේතුව කියලා ඔබ හිතනවද…? විශේෂයෙන්ම නිසි සැලසුමක්‌ නොමැති කම…?

පිළිතුර( මම ලංකාවෙන් එලියට ගිහිල්ලා දැන් අවුරුදු 6 ක්‌ වෙනවා. ඒක නිසා පරිපාලනය පැත්ත ගැනත් මට කියන්න දෙයක්‌ නැහැ කියලා තමයි මේ වෙලාවේ කියන්න තියෙන්නේ.

ප්‍රශ්නය( මම හිතන්නේ ඔබ මගේ ප්‍රශ්නයෙන් පැනලා ගියා කියලා…?

පිළිතුර( නැහැ නැහැ. එහෙම දෙයක්‌ නැහැ. ඇත්තටම මම ලංකාවේ ක්‍රිකට්‌ පරිපාලනයේ මොනවද වෙන්නෙ කියලා දන්නේ නැති නිසයි ඒ පිළිතුර ලබා දුන්නේ.

ප්‍රශ්නය( පසුගිය කාලේ ක්‍රිකට්‌ පරිපාලනය කළ නිලධාරීන් විනි වදභාවයකින් තොරව කටයුතු කිරීමේ අතුරු ප්‍රතිපලයක්‌ ලෙස පුහුණුකරුවකු සොයා ගැනීම දුෂ්කර කාර්යයක්‌ වුණා. කොටින්ම කියනවා නම් පුහුණුකරුවකු සොයා ගැනීමට නොහැකි තරම් අපි අසරණ වුණා. පුහුණුකරුවන්ට කළ ආරාධනා අතර ඔබටත් කතා කළා. නමුත් ඔබත් එය ප්‍රතික්‌ෂේප කළා. මෙහිදී ඔබ රට ගැන නොසිතුවා කියලා කෙනෙක්‌ ඔබට චෝදනා කළොත්…?

පිළිතුර( නෑ. ඇත්තටම රට ගැන නොහිතපු එකක්‌ නොවෙයි එතන තියෙන්නේ. මම මෙතන රැකියාවක්‌ කරන්නේ. හරි මම මෙහෙම කියන්නම්කෝ. සාමාන්‍යයෙන් ඔයාලා වුණත් පත්තරයකට වැඩ කරනකොට බලන මූලිකම දේ වෙන්නේ ඒක තමන්ගේ ජීවිත ගමන්මගට ගැලපෙනවද නැද්ද කියන එකනේ. මගේ පවුලේ උදවිය ඉන්නේ ලංකාවේ නොවෙයි. ඉන්දියාවේ සහ ඔස්‌ටේ්‍රලියාවේ ඔවුන් ඉන්නේ. ඒ අනුව ඔය කියන ප්‍රශ්නයෙදි මම කටයුතු කළේ අර කිව්ව ජීවිත ගමන්මගට ගැලපෙන තීරණයක්‌ විදියට. ඒ හැරෙන්නට එහි රට ගැන නොසිතන දෙයක්‌ හෝ වෙනත් දෙයක්‌ නිසා ගත්ත තීරණයක්‌ නොවෙයි.

ප්‍රශ්නය( නමුත් උවමනාවක්‌ තිබුණා නම් ඔය කියන සුළු සුළු ගැටලුවලට විසඳුම් සොයාගන්න තිබුණා කියලා කෙනෙකු චෝදනා කළොත්…?

පිළිතුර( මෙහෙමයි. මේ ලෝකෙ ඉන්න කොයි පුහුණුකරුවගෙත් සිහිනය වෙන්නේ කවදා හරි තමන්ගේ රටේ කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන එක. අනිත් අය වගේම මගෙත් ඒ තියෙන ආශාව සහ බලාපොරොත්තුව එලෙසම තමයි. නමුත් මම ඔබගේ කලින් ප්‍රශ්නෙට දුන්න පිළිතුර තමයි මෙතනදීත් මට ලබාදෙන්න සිද්ධ වෙන්නේ.

ප්‍රශ්නය( බංග්ලාදේශ පුහුණුකරු ලෙස කටයුතු කිරීමේදී ඔබට ස්‌වාධීනව කටයුතු කිරීමේ අයිතිය එම පරිපාලන නිලධාරීන් ලබාදීලා තියෙනවා. බැරිවෙලාවත් ඔබ ලංකාවේ පුහුණුකරු ලෙස කටයුතු කරන්න අවස්‌ථාවක්‌ ලැබුණොත් එහි තියෙන වාතාවරණයත් එක්‌ක ඔය කියන ස්‌වාධීනත්වයෙන් වැඩ කරන්න අවස්‌ථාවක්‌ තියෙයි කියලා ඔබ හිතනවද…?

පිළිතුර( ස්‌වාධීනව වැඩකරන්න පුළුවන් වාතාවරණයක්‌ නැතිව මම කිසි විටෙකින්වත් එවැනි තනතුරක්‌ භාර ගන්න එන්නේ නැහැ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close