Breaking News
Home / Gossip / බැසිල් අලුතෙන්ම එන්න හදන්නේ මොකාටද?මෙන්න සියල්ල

බැසිල් අලුතෙන්ම එන්න හදන්නේ මොකාටද?මෙන්න සියල්ල

රාජපක්ෂ පාලනය පරාජයට පත්වීමෙන් අනතුරුව පැදුරටත් නොකියා රටෙන් පලා ගිය හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවත වතාවක් කට්ටෙන් එළියට එමින් සිටී. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් අටවාගෙන ඇති ඒකාබද්ධ විපක්ෂය නමැති කල්ලිය කිරුළපනදී සංවිධානය කර ඇති මැයි දින රැලියේ ප්‍රධාන සංවිධායකවරයා වී සිටිනුයේ බැසිල් රාජපක්ෂය. පසුගිය දින කිහිපයේ රටපුරා යමින් එම මැයි රැලිය සාර්ථක කර ගැනීමට වෙහෙසුණු බැසිල් ඒ වෙනුවෙන් අත දිග හැර මුදල් වීසි කෙළේය.

ඒකාබද්ධ විපක්ෂයට හිතැති ප්‍රාදේශීය නායකයන් මුණගැසෙමින් කිරුළපන රැලියට පැමිණීමට අවශ්‍ය මූල්‍ය සම්පාදනය සඳහා බැසිල් මුදල් පොම්ප කිරීමට පටන් ගැනීමත් සමඟ පසුගිය මාස කිහිපයේ තිරයට පිටින් දිගහැරුණු ඔහුගේ භූමිකාව මහජන ප්‍රදර්ශනයට දැන් විවෘත වී තිබේ.

කෙසේ වෙතත් බැසිල්ගේ ආගමනය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය තුළ පවා ඇත්තේ එතරම් ප්‍රසාදයක් නොවන බව පෙනෙන්නට තිබේ. පසුගිය දා ප්‍රසිද්ධ රූපවාහිනී නාළිකාවකට පැමිණි හිටපු අමාත්‍ය විමල් වීරවංශ බැසිල්ගේ කලඑළි බැස්ම විවේචනය කර තිබුණේ එය ඒකාබද්ධ විපක්ෂයේ වැඩ කටයුතුවලට බාධාවක් යැයි කියමිනි. විමල් හා බැසිල් අතර ජනාධිපතිවරණ පරාජයෙන් අනතුරුව කොහොමටත් පැවැතියේ සුබදායි සම්බන්ධයක් නොවේ. 2015 ජනවාරි 21 වැනිදා බී. බී. සී. යේ සංදේශ සමඟ කතාබහකට එක්වෙමින් විමල් පවසා තිබුණේ බැසිල් රාජපක්ෂගේ හැසිරීම මහින්දගේ පරාජයට බලපෑ ප්‍රධාන හේතුව බවය. “බැසිල් ගොඩක් වැඩ මධ්‍යගත කරගෙන තිබුණා. ඒ තුළ පවුල් පාලනය කියලා විපක්ෂය ගෙනා තර්කය බිඳින්න බැරි වුණා. අලුත් ප්‍රතිසංස්කරණ හා වෙනස්කම් සිදුවීම වැළැක්වූයේ බැසිල්. ඒක රාජපක්ෂලාගේ කඩා වැටීමට ලොකු හේතුවක් වුණා.”

විමල් එදා එලෙස බැසිල් ගැන කීවා අපට මතකය. විමල්ට, බැසිල්ව “ඇලජික්” වීම පිටුපස ඇති හේතුව අතිශයින්ම දේශපාලනිකය. බැසිල්ගේ මතුවීම හරහා තමන් තවත් “අඩියක්” පසුපසට විසී වන බව විමල් හොඳාකාරවම දනී. එසේ නොමැතිව, විමල් බැසිල්ට විරුද්ධ වනුයේ දූෂණය, වංචාව, හොරකම් වැනි කාරණා මත පිහිටා නොවේ. ඒ අනුව විරුද්ධ වන්නේ නම් ඔහු මහින්දානන්ද, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු වැන්නන්ට එරෙහිව ද මෙසේ “තඩි” බෑ යුතුය. විමල් පමණක් නොව නාමල් රාජපක්ෂ ද පසුව ඉංග්‍රීසි පුවත්පතක් හා පැවැති සාකච්ඡාවකදී බැසිල්ගේ වැඩ කිරීමේ ඇති ශෛලිය විවේචනය කර තිබුණි. “ඔහු මහජන සම්බන්ධතා අඩු මිනිහෙක්. ඒක තමයි ඔහුගේ ක්‍රමය. මටත් ඔහු ගැන විවේචන තියෙනවා” නාමල් තම බාප්පා ගැන එලෙස චරිත සහතිකයක් නිකුත් කර තිබුණි.

අද පණ අදිමින් සිටින ඒකාබද්ධ විපක්ෂයට ඔක්සිජන් සැපයීමට උත්සාහ කරනුයේ එබඳු ඉතිහාසයක් සහිත පුද්ගලයෙකි.

අන්වර් ඉස්මයිල් මන්ත්‍රීවරයාගේ පුරප්පාඩුවට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි බැසිල් ඉන් අනතුරුව රාජපක්ෂ රජයේ “අප්‍රකාශිත” දෙවැන්නා විය. වදන් විශ්වය තුළ කෙසේ වුවද අගමැතිවරයා පවා සිටියේ ඔහුට පහළිනි. සෙසු ඇමැතිවරුන් සිටියේ ඔහුට ගවු ගාණක් පසුපසිනි. වෙනකක් තියා ඇතැම් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු පවා ඔහුට “සර්” කියන මට්ටමේ විය. මේ සියල්ල බැසිල් ආරෝපණය කර ගත්තේ මහින්ද රාජපක්ෂගේ සහෝදරයා වීම තුළය. රාජපක්ෂ රෙජීමයට එරෙහිව විපක්ෂය ඇතුළු සිවිල් සමාජ කණ්ඩායම් මතු කළ සහෝදර සමාගම නමැති සටන් පාඨය පෝෂණය කිරීමට වැඩිම අඩුමකුඩුම සැපයු පුද්ගලයා බැසිල්ය. රාජපක්ෂ සමයේ සිදුවූ සෑම නොපනත්කමක් වෙනුවෙන්ම කොන්දේසි විරහිතව පෙනී සිටි බැසිල් “ජේත්තුකාර” ජීවිතයක් ගෙන ගියේ ජනතා බදු මුදල් කිසිදු වගක් නොමැතිව පරිහරණය කරමිනි. රටේ සාතිශය බහුතරයක් වන දිළිඳු ජනතාව වෙනුවෙන් වෙන් කළ මුදල් තම දේශපාලන ව්‍යාපෘතීන්හි දිග පලළ වැඩි කර ගැන්ම වෙනුවෙන් කිසිඳු හිරිකිතයකින් තොරව භාවිත කළ බැසිල් කෙතරම් “කුමාර” ජීවිතයක් එකල ගෙන ගිය බවට 2014 කාලය තුළ ඔහු ගිය ගුවන් ගමන් හොඳ සාක්ෂියක්ය.

එම කාලය තුළ හත් වතාවක් පමණ බැසිල් තම සහෝදරයාගේ ඡන්ද සටන වෙනුවෙන් ගුවන්ගත වී ඇති අතර ඒ එකදු වතාවකට හෝ මුදල් ගෙවා නොමැත. රටේ අති බහුතරයකට දිවංගත වනතුරු ගුවන්ගත වීමට නොලැබෙන පසුබිමක රාජපක්ෂවරු රත්මලානේ සිට මහරගමට යෑමට ද ගුවන් යානා භාවිත කර ඇත. වෙනකක් තියා එම ජනාධිපතිවරණ ඡන්ද සටන තුළ පෝස්ටර් පාප්ප ඉණිමං පවා ගෙන ගියේ හෙලිකොප්ටර්වලය.

ජනවාරි 09 වැනිදා ජනාධිපතිවරණ පරාජයෙන් අනතුරුව ද බලය සඳහා ඇති තම සූදානම අත්නොහළ බැසිල් මහින්ද ගෙදර යෑමට සැරසෙද්දී අමුතු “ගේමකට” අරඇන්දේය. ඒ රටේ මීළඟ විපක්ෂ නායකයා වීමටය. ඒ වෙනුවෙන් ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන් ගණනාවකට බැසිල් කතා කළමුත් එයට ධනාත්මක ප්‍රතිචාර හිමි වුණේ පක්ෂයේ දෙවැනි තුන්වැනි පෙළ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුගෙන් පමණි. බැසිල්ව ඒ තරමටම ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන්ට එපා වී තිබිණි. එම සැලසුම උපන් ගෙයිදීම ව්‍යර්ථ වූ පසු ඇමෙරිකානු පුරවැසි භාවය සහිත බැසිල් ලොස් ඇන්ජලීස් නුවර බලා පිටත් විය. ජනවාරි 11 වැනි දින රටේ අතිබහුතරයක් ජනතාව සුව නින්දක පැටලී සිටියදී එමිරේට්ස් සමාගමට අයත් E. K. 349 දරන ගුවන් යානයෙන් බැසිල් ඇමෙරිකාව බලා පිටත්වෙද්දී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ හෝරා යන්ත්‍රයෙහි වේලාව සටහන්ව තිබුණේ පෙ. ව. 2.55 ලෙසය. බැසිල් ලංකාවෙන් පිටව ගියේ විශේෂ ප්‍රභූ පර්යන්තය ඔස්සේය.

එසේ රටින් පළා ගිය බැසිල් මාස කිහිපයකට පසු යළි මෙරටට පැමිණිමුත් දිවි නැඟුම අරමුදලේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට පත්විණි. අත්අඩංගුවට පත් වුවද බැසිල් බන්ධනාගාරයට නොගියේය. බන්ධනාගාරයට නියම කළ පසු මෙරට බොහෝ ප්‍රභූන්ට වැල‍ඳෙන “ව්‍යාධිය” ඔහුට ද වැලඳුණේය. අසනීප තත්ත්වයක් යැයි කියමින් ඔහු ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට ඇතුළත් විය. ඇප ලබා යළි පිටතට පැමිණෙන තෙක්ම බැසිල් සිටියේ ගෙවන වාට්ටුවේය.

බැසිල්ගේ දේශපාලනය පිළිබඳ කතා කරන බොහෝ දෙනෙකු පවසනුයේ රාජපක්ෂ පාලනයට අවැසිව තිබූ දේශපාලන ස්ථාවරත්වය ඔහු නිර්මාණය කළ බවය. විපක්ෂයේ දේශපාලන පක්ෂ කිතු කිතු කරමින්, “දේශපාලන ගනුදෙනු” හරහා රජය ශක්තිමත් කිරීම ඔහුගේ ක්‍රමය විය. ඒ හරහා ඔහු “වැඩ්ඩෙකු” ලෙස සමාජගත වන්නට විය. නමුත් එය පමණ ඉක්මවා බැසිල්ගේ හැකියාව උලුප්පා දැක්වීමක් බව මේ ලියුම්කරුගේ අදහසයි. එහිදී අමතක නොකළ යුතු වැදගත්ම කරුණ වනුයේ බැසිල් ඒ සියල්ල කළේ දේශපාලන බලය සහිතව බවය. දේශපාලන බලය ඇති විට වැඩ පෙන්වීම සාමාන්‍ය කරුණකි. සැබෑ නායකයෙකුගේ නියම වැඩකිඩ මතු වනුයේ වඩා දුෂ්කර වූ තත්ත්වයන් යටතේ ක්‍රීඩාවේ නිරත වෙද්දීය. තමන් එවැන්නෙකු බව බැසිල් මේ දක්වා පෙන්වා නැත. ඔහු හැම විටම ශිල්ප දක්වා ඇත්තේ බලය ඇතිවීම පමණි. එවැන්නන් අනන්තවත් පශ්චාත් නිදහස් ශ්‍රී ලංකා දේශපාලනය තුළ අපට මුණ ගැසී තිබේ. සිරිසේන කුරේ හා එස්. බී. දිසානායක යනු ඊට නිදර්ශන දෙකක් පමණි. මේ දෙදෙනාම පොදුවේ හැඳින්වූ එක් පොදු සාධකයක් වූයේ ඡන්ද මැෂිම් කියාය. නමුත් ඒ ඡන්ද මැෂිම් කරකැවුණේ බලය ඇති විට පමණි. මංගල සමරවීරලා, කරූ ජයසූරියලා ඊට ව්‍යතිරේඛයක් වනුයේ බලය ඇති විට පමණක් නොව බලය නැති විට ද ඔවුන් වැඩ පෙන්වා ඇති බැවිනි.

බැසිල්ගේ කිරුළපන කුරුමානම වැරදුණහොත් සිදුවන එක දෙයක් නම් සුපැහැදිලිය. ඒ අද ඔහු සමඟ සිටින කිහිප දෙනාද අතහැර යළි පැදුරටත් නොකියා පලා යන බවය. දැනටමත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මැතිවරණයන්ට තරග කිරීමේ ඉඩකඩ අහුරා තිබේ. තවමත් ඇමෙරිකානු පුරවැසියෙකු වන බැසිල්ගේ දේශපාලන ගමන්මඟ ඒ අනුව පැහැදිලි නොමැත. එය ඔහු පසුපස යන්නන් තේරුම් ගැනීම වැදගත්ය.

 

චාමර ලක්ෂාන් කුමාර

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close