Breaking News
Home / Gossip / නාමල්ව අත්අඩංගුවට ගත් මෙහෙයුම හා නාමල්ගේ හොර වැඩ

නාමල්ව අත්අඩංගුවට ගත් මෙහෙයුම හා නාමල්ගේ හොර වැඩ

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂව අත්අඩංගුවට ගැනීම රටේ දේශපාලනය තුළ කේන්ද්‍රීය මාතෘකාවක් වී තිබේ. විය යුතු ආකාරයටම ඒකාබද්ධ විපක්ෂය යනුවෙන් පෙනී සිටින කණ්ඩායම මෙය දේශපාලන ප්‍රශ්නයක් බවට පත් කරගෙන ඇත. නාමල්ව “ඇතුළට ගැනීම” නැටුමක් කර ගනිමින් ඔවුන් දැන් අසනුයේ “ඔබට සතුටුයිද දැන්” කියාය. එසේ විමසන්නන්ට පෙරළා අපට පැවසීමට ඇත්තේ “කාලය කෙතරම් නපුරු ද” යන්න පමණි. මීට වසර දෙකකට පෙර බලය අසීමාන්තිකව භුක්ති විඳිමින් එය අවභාවිතයේ යෙදවූ රාජපක්ෂලා මෙබඳු ඉරණමක් තමනට අත් වෙතැයි එදා සිහිනෙන් හෝ නොදුටු තරම්ය. බලය සදාකාලික යැයි සිතමින් කල් ගෙවූ ඔවුනට අද යථාර්ථයට අනුගත වීමට සිදු වී තිබීම දෛවයේ සරදමක් බඳුය.

හිටපු ජනාධිපතිවරයාගේ පුත්‍රයා වීම තුළ හෝ නමේ අගට රාජපක්ෂ කෑල්ල තිබීම තුළ සෙසු පුද්ගලයන්ට නැති මුක්තියක් අපරාධ වරදක් සම්බන්ධ නාමල්ට හිමි විය යුතු බවට යමකු පවසන්නේ නම් සැබැවින්ම එය මුග්ධ ප්‍රකාශයකි. නාමල් බන්ධනාගාරගත කළේ නීතිය හමුවේ ගොනු කළ කාරණයක් පිළිබඳ වූ මූලික විමර්ශනයක් අවසානයේ නීතියේ නිසි ක්‍රියාපටිපාටිය අනුවය. කොළඹ කොටුව ට්‍රාන්ස් වර්ක් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේදී සිදුව ඇති මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ යුතු බවට පසුගිය වසරේ දෙසැම්බර් 18 දින පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත්වූ අතර එය සිදු කළේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහය. අනතුරුව පොලිස්පතිවරයාගේ නියෝගය මත ඒ පිළිබඳව විමර්ශන කටයුතු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැවරිණි. ඒ පැමිණිල්ල ගොනුකර දින 08 කට පසුය. සහකාර පොලිස් අධිකාරි කමල් පලිහක්කාර මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ ඒකක 07 හි නිලධාරීන්ට මෙම පැමිණිල්ල පිළිබඳ විමර්ශන සිදු කිරීමේ වගකීම පැවරිණි. ඹ්/195/216 යටතේ 2016 ජනවාරි 03 දා මේ පිළිබඳව පළ වූ ‘බී’ වාර්තාව නිකුත් කළ අතර ජනවාරි 12 දා දෙවැනි ‘බී’ වාර්තාවත් ජනවාරි 19 දා තුන්වැනි බී වාර්තාවත් පෙබරවාරි පළමු වැනිදා හතර වැනි බී වාර්තාවත් පෙබරවාරි 19 දා පස්වැනි හා අවසාන බී වාර්තාවත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. ඒ අනුව හෙළිව තිබුණේ රුපියල් මිලියන 70ක ගනුදෙනුවට හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රීවරයා සම්බන්ධ බවය. පරීක්ෂණවලදී අනාවරණය වී ඇති ආකාරයට මේ ගනුදෙනුව සිදුව ඇත්තේ ඒ පිළිබඳව, කිසි දිනක විමර්ශනයක් සිදු නොවෙතැයි යන දැඩි විශ්වාසය මත බව පෙනී යයි. කරුණු කාරණා සිද්ධ වී ඇත්තේ ඒ තරම් ප්‍රාථමික ආකාරයකටය.

ක්‍රිෂ් ගණුදෙනුව සහ ජානකී සිරිවර්ධන

ට්‍රාන්ස් වර්ක් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේදී සිදු වූ මූල්‍ය වංචාව රටේ දේශපාලනය තුළ නම් ගැන්වුණේ “ක්‍රිස් ගනුදෙනුව” නමිනි. නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඒ ඉඩම මහාදේවන් නමැති ඉන්දීය මවු සමාගම යටතේ ඇති ක්‍රිෂ් ට්‍රාන්ස් වර්ක් පෞද්ගලික සමාගමට 99 අවුරුදු බදු පදනම මත ලබා දී ඇත්තේ රුපියල් මිලියන හාරදහස් නවසිය පනස් පහකටය. ඉන් රුපියල් මිලියන හාරදහස් දෙසීය අසූපහයි දශම පහක් නාගරික සංවර්ධන අධිකාරියට ඔවුන් මේ වන විට ගෙවා ඇති බව කියැවේ. මේ සමාගමේ අධ්‍යක්ෂවරුන් වනුයේ අමිත් කටියාල්, ආර්. පී. ගුප්තා හා ගීතාංජලි ජානකි සොයිසා සිරිවර්ධනය. කලක් ගුවන් සේවිකාවක ලෙස කටයුතු කළ ජානකි සිරිවර්ධන ක්‍රිෂ් ට්‍රාන්ස් වර්ක් පෞද්ගලික සමාගමේ දේශීය ඒජන්තවරියය.

ක්‍රිෂ් ගනුදෙනුව සිදු වෙද්දී ඊට අවශ්‍ය පහසුකම් සපයමින් නාමල් රාජපක්ෂ තරුණ මන්ත්‍රීවරයා රඟපෑ භූමිකාව සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ ඇත්තේ විවිධ කියවීම්ය. පසුගිය ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව පොදු අපේක්ෂකයාගේ කඳවුරෙන් සමාජගත කළ ප්‍රධානතම චෝදනා අතර ඉහළින්ම වූයේ මේ ආන්දෝලනාත්මක ගනුදෙනුවය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 650 ක මුදලකට මේ ගනුදෙනුව සිදු වෙද්දී ඩොලර් මිලියන 3.5 ක (රුපියල් මිලියන 450ක) කොමිස් මුදලක්, පැවැති පාලනයට සම්බන්ධ ප්‍රබලයකු ලබාගත් බවට, එකල දේශපාලන වේදිකාවේ උස් හඬින්, කියවිණි. 2012 දී දෙපාර්ශ්වය අතර එළඹි ගිවිසුම සම්පූර්ණ වීමට තවත් රුපියල් මිලියන 450ක් අවශ්‍ය බවට නාගරික සංවර්ධන අධිකාරිය ඉල්ලා සිටි අවස්ථාවේදී තමන් සියලු මුදල් ගෙවූ බවට ක්‍රිෂ් බලධාරීන් පැවසීමත් සමඟ මේ කොමිස් මුදල් කතාවට තටු ලැබිණි. පසුව කොමිස් ලෙස ලබාගත් එම මුදලෙන් රුපියල් මිලියන 400ක් සමාගමට ආපසු ගෙවූ බව කියැවිණි.

රාජපක්ෂ රෙජිමයේ දූෂිත බව පෙන්වීමට එදා ඉදිරිපත් වූ ප්‍රධාන උදාහරණයක් වූයේ මේ සිදුවීමය.

ක්‍රිෂ් ගනුදෙනුව පහසු කිරීමට මැදිහත් වූ බැවිනි. නාමල්ට මේ සමාගමේ අධ්‍යක්ෂවරු සමඟ තිබුණේ ළඟ මිත්‍රත්වයකි. ඒ අතරිනුත් නාමල්ගේ හොඳම හිතවතා වූයේ ආර්. පී. ගුප්තාය. එම හිතවත්කම මත නාමල් තම ඉන්දීය මිතුරා මුණගැසුණු අවස්ථාවක ඉල්ලීමක් කළේය. ඒ ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව සඳහා මූල්‍යමය අනුග්‍රාහක දායකත්වයක් දෙන ලෙස ඉල්ලමිනි. නාමල්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ තාරුණ්‍යයට හෙටක් හා සිලෝන් ප්‍රිමියර් ස්පෝර්ට්ස් යන ආයතන ඒකාබද්ධව ජාත්‍යන්තර මට්ටමේ සත් සාමාජික රග්බි තරගාවලියක් ඒ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරමින් සිටි අතර නාමල් ගුප්තාගෙන් ඉල්ලා සිටියේ ඒ සඳහා රුපියල් ලක්ෂ හත්සියයක මුදලක් ලබා දෙන ලෙසය.

එවිට ගුප්තා පවසා ඇත්තේ එය කළ හැකි බවත් එච්. එස්. බී. සී. බැංකුවේ ගිණුමක් ඒ වෙනුවෙන් ලබා දෙන ලෙසත් ගුප්තා එවිට පවසා ඇත. ඒ අනුව නාමල් ප්‍රකට ව්‍යාපාරික නිමල් පෙරේරාට අයත් එම බැංකුවේ ගිණුම් අංකයක් ලබා දී ඇත. එම ගිණුම් අංකය වනුයේ 006-040042-001 ය. ඒ අනුව දින 31ක් ඇතුළත අවස්ථා දෙකකදී බැංකු අණකර මඟින් රුපියල් ලක්ෂ පන්සියයක මුදලක් ඊට බැර වී තිබේ. 2012 – 10 – 18 හා නොවැම්බර් 19 දින එම ගනුදෙනු සිදුව තිබේ. පසුව ඉන් මසකට පසුව තවත් පෞද්ගලික බැංකුවක ඇති නිමල් පෙරේරාගේ 002950014922 දරන ගිණුමට තවත් රුපියල් ලක්ෂ 200ක් බැරව ඇත. ඒ සඳහා වූ චෙක්පත නාඳුනන පුද්ගලයකු විසින් ආර්. ඒ. ද මැල් මාවතේ අංක 10 හි පිහිටි තම කාර්යාලයට ගෙනවිත් දුන් බව පෙරේරා පවසා තිබිණි. තම ගිණුම්වලට ලැබුණු එම මුදල් 2013 මැයි හා ජුනි මාසවලදී මන්ත්‍රීවරයා අතටම ලබා දුන් බව පරීක්ෂණවලදී නාමල් මෙන් නිමල් ද පිළිගෙන ඇත. ඒ සම්බන්ධව අධිකරණය ඉදිරියේදී විශේෂ ප්‍රකාශයක් පසුගිය පෙබරවාරි දහනව වැනිදා නිමල් පෙරේරා සිදුකර ඇති අතර පසුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර වෙත ලියාපදිංචි තැපෑල ඔස්සේ එවන ලද ලිපියක් මඟින් ද ඔහු එය පිළිගෙන තිබිණි. ඒ ආකාරයට මෙහිදී පැහැදිලිව හඳුනාගෙන ඇති ගනුදෙනුවක් සිදුව තිබේ. එහෙත් ගැටලුව වනුයේ එසේ ලැබුණු මුදල් අතුරුදන් වී තිබීමය. තමන්ට ලැබුණු මුදල් 2013 වසරේ ඔක්තෝබර් මාසයේ පැවැති කාල්ටන් සුපර් සෙවන්ස් රග්බි තරගාවලියට වියදම් කිරීමට ලබා දුන් බව නාමල් රාජපක්ෂ පැවසුව ද ප්‍රිමියර් ස්පෝට්ස් ලිමිටඩ් සමාගමේ අධ්‍යක්ෂවරුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පවසා ඇත්තේ මේ කියන ආකාරයේ ලක්ෂ හත්සියයක මුදලක් 2014 තරගාවලියට වියදම් කිරීම සඳහා තමනට නොලැබුණු බවයි.

නාමල් සහ සුජානි බෝගොල්ලාගම.

sujani-bogollagamaඑය මේ පිළිබඳව පැවැති විමර්ශනයේදී ශ්‍රී ලංකා රග්බි සංගමයේ හා ප්‍රිමියර් ස්පෝර්ට් ලිමිටඩ් නම් ආයතන දෙකෙහි සිටි බොහෝ දෙනා පිළිගෙන ඇත. ප්‍රිමියර් ස්පෝර්ට් ආයතනය කාල්ටන් සුපර් සෙවන්ස් තරගාවලියේ ප්‍රධාන ව්‍යුහය වූ අතර රටේ නාමධාරී ව්‍යාපාරිකයෝ ගණනාවක් එය නියෝජනය කරති. තරගාවලියට එක්ව සිටි කණ්ඩායම් හිමිකරුවන් ඒ නිසාම එහි සාමාජිකයෝ වූහ. අසංග සෙනෙවිරත්න, නිමල් පෙරේරා, සංජිව වික්‍රමනායක, රවී විජේරත්න, රන්ජිත් පේජ්, ඇතුළු ප්‍රබල ව්‍යාපාරිකයන් නව දෙනෙක් තරගාවලියට එක්ව සිටි කණ්ඩායම්හි හිමිකාරිත්වය දැරූහ. තරගාවලිය සංවිධානය කිරීම පිළිබඳ මූලික වගකීම කාල්ටන් ක්‍රීඩා සමාජය, ඉසිලූ අතර, කලක් නාවික හමුදා පිලේ පුහුණුකරුවා වූ රොනී ඊබ්‍රාහිම් එහි ප්‍රධාන චරිතය විය. ඊබ්‍රාහිම්ට සහාය වෙමින්, තරගාවලියට සම්බන්ධ වූ විදේශ ක්‍රීඩකයන් මෙරටට රැගෙන ඒමේ “කොන්ත්‍රාත්තුව” භාරගෙන තිබුණේ කලක් ශ්‍රී ලංකා රග්බි පිලේ පුහුණුකරු වූ නවසීලන්ත ජාතික ජෝර්ජ් සිම්ප්කින් ය. මේ සියලු දෙනාට සහාය වෙමින් ගිණුම් කටයුතු පිළිබඳ සියලු වගකීම් දැරුවේ සුජානි බෝගොල්ලාගමය. නැසී ගිය ප්‍රකට ව්‍යාපාරික ජානක බෝගොල්ලාගමගේ දියණිය වන සුජානී, නාමල්ගේ සමීපතම මිතුරියක් වූවාය.

2011 වසරේ දෙසැම්බර් පහළොස් වැනිදා නීතිඥයකු ලෙස දිවුරුම් දුන් නාමල් රාජපක්ෂ ඉන් මාස 06ක් ඇතුළත තමන්ගේම කියා නීතිඥ සමාගමක් ආරම්භ කළේය. එන්. ආර්. ඇසෝසියේට් ලෙස එම නීතිඥ සමාගම ලියාපදිංචි කරද්දී එහි අයිතිකරු ලෙස නම දී තිබුණේ ලක්ෂ්මන් නාමල් රාජපක්ෂය. ලිපිනය තංගල්ලේ කාල්ටන් නිවෙස විය. එහි සෙසු අධ්‍යක්ෂවරුන් වූයේ නිත්‍යා සේනානි සමරනායක හා සුදර්ශන බණ්ඩාර ගනේගොඩය. නීතිඥයකු ලෙස දිවුරුම් දුන් පසු ජ්‍යෙෂ්ඨ නීතිඥයකු යටතේ සෑහෙන කලක් සේවය කරමින්, අත්දැකීම් ලබාගත් පසු නීතිඥ සමාගමක් පිහිටුවීම සාමාන්‍ය ක්‍රමය වුවත් නාමල් නම් අන්තිමට කළ යුතු දේ පළමුව සිදු කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ඇතුළු රටේ නමගිය සමාගම් රැසක් නාමල්ගේ සමාගමේ සේවාව කෙටි කලක් තුළ ලබාගත් අතර ජනාධිපතිවරයාගේ පුත්‍රයාගේ සමාගම වීම පමණක් සැලකිල්ලට ගනිමින් ඔවුහු එය සිදු කළහ. නීතිඥවරියක වූ සුජානි බෝගොල්ලාගම ද ආරම්භයේ සිටම තම මිතුරාගේ සමාගමට සම්බන්ධ විය. ඊට පෙර ඇය මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති නිලධාරිනියක ලෙස වසර 2ක් කටයුතු කර තිබිණි. නාමල්ගේ නීතිඥ සමාගම පිළිබඳ දිගින් දිගටම කථා කිරීම, අපගේ ප්‍රධාන ප්‍රස්තුතයට බාධාවකි. අප එය සඳහන් කළේ නාමල් හා සුජානි අතර පැවැති සමීප මිත්‍රත්වයේ තරම පෙන්වීමටය. කෙසේ වෙතත් රුපියල් මිලියන 70ක මුදල පිළිබඳ ප්‍රශ්න කළ අවස්ථාවේදී සුජානි මෙන්ම රොනි ඊබ්‍රාහිම් ද පරීක්ෂකයන් හමුවේ පවසා තිබුණේ තරගාවලියට වියදම් කිරිම සඳහා එවැනි මුදලක් ලැබුණු බවත් තමන් නොදන්නා බවත්ය. නාමල්ව අත්අඩංගුවට ගත්තේ ඒ සියලු සාක්ෂි මත පදනම්වය. සාපරාධි විශ්වාසය කඩකිරීම සාවද්‍ය මුදල් පරිහරණය, වංචාව යන චෝදනා යටතේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔහුට එරෙහිව චෝදනා ගොනු කර ඇත.

ඉන්දියාවට ගොස් ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂවරුන්ගෙන් ප්‍රකාශ ලබා ගත් රවි
මේ ගනුදෙනුවට මුල් වූ ක්‍රිෂ් සමාගමේ පැමිණිල්ලක් නොමැතිව ඔවුන්ගේ මැදිහත් වීමකින් තොරව පිටස්තර පැමිණිල්ලක් මත පදනම්ව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඇතැමුන් විමතිය පළ කළ ද සද්භාවයෙන් තමන් ලබා දුන් මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් එම සමාගම බලවත් අප්‍රසාදය පළ කර ඇති බව දැනගන්නට ඇත. මේ විමර්ශනයට අදාළව පසුගිය මැයි 27 දා නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී ක්‍රිෂ් ලංකා සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ආර්. පී. ගුප්තාගෙන් හා අමිත් කට්ටියාල්ගෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තොරතුරු සටහන් කරගෙන තිබිණි.

මේ අතර බන්ධනාගාරගත කළ නාමල්ගේ සුව දුක් විමසීමට ගිය ඔහුගේ බාල සොහොයුරු රෝහිත රාජපක්ෂ මාධ්‍යයට පවසා තිබුණේ ලංකාවේ රගර් ග්‍රාමීය මට්ටමට ව්‍යාප්ත කිරීමට උත්සාහ කළ තම සොහොයුරාට ලැබුණු ත්‍යාගය මෙය බවයි. රෝහිතට අනුව මෑත කාලයේ දේශීය රග්බි පිටියට පෑයු ඉටුදෙවියා නාමල්ය! මෙය කෙතරම් සත්‍ය ප්‍රකාශයක් ද?

නාමල් රගර් ගමට ගෙන ගියාද ? විනිසුරුවන්ටත් පහර දී රගර් කෑවාද ?
නාමල් දක්ෂ රග්බි ක්‍රීඩකයකු බව සැබෑවක් වුව ද ඒ දක්ෂතාව පරයමින් පසුගිය කාලයේ ඔහු මේ ක්‍රීඩාවට අදාළව ප්‍රසිද්ධියට පත්වූයේ වෙනත් කාරණා නිසාය. විශේෂයෙන්ම ජයග්‍රහණය පිළිබඳ පිපාසාවකින් ඔහු පෙළෙන බව පැහැදිලිවම පෙනෙන්නට විය. ජපානය හැරුණු විට ආසියාකරයේ විශාලම රග්බි ක්‍රීඩා කරන රාජ්‍යය වන ශ්‍රී ලංකාවේ රග්බි ඉතිහාසය එක්දහස් අටසීය හැත්තෑ ගණන් තෙක් වූ දීර්ඝ අඛණ්ඩ ඉතිහාසයක් කරා විහිදේ. එහෙත් ඇතමුන් අද කතා කරන ආකාරයෙන් නම් පෙනෙන්නට ඇත්තේ මීට වසර තුන හතරකට පෙර රාජපක්ෂ සමයේ රග්බි මෙරටට පැමිණි බවය. මහින්ද රාජපක්ෂ ජනපති වූ පසු ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව එක කල්ලියකගේ අතට පත් වුණු අතර නාමල් එහි පොදු මුහුණ විය. තම සොහොයුරන් සමඟින් නාවික හමුදා කණ්ඩායමට ක්‍රීඩා කළ නාමල් හැම විටම අපේක්ෂා කළේ දිනුමය. දේශීය රග්බි පිටියේ කිරුළ දිනාගැන්ම ඔහුගේ සිහිනය විය. එහිදී පරජය වහකදුරු මෙන් විණි. දිනුම වෙනුවෙන් අත දිග හැර වියදම් කළ නාමල් කළ හැකි සියල්ල ඒ සඳහා කළේය. දේශපාලන බලය ප්‍රසිද්ධියේ යෙදෙව්වේය. නාමල්ගේ මේ ජයග්‍රහණ පිපාසාව නිසා වැඩිපුරම පීඩා වින්දේ මහනුවර ක්‍රීඩා සමාජයයි. එම ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ඉහළ මිලක් ගෙවමින් තම කණ්ඩායමට එක් කරගත් පසු ඊට සමාන්තරව මහනුවර ක්‍රීඩා සමාජයට එක්වීමේ අපේක්ෂාවෙන් සිටි ක්‍රීඩකයන්ව අධෛර්යයට පත් කළේ තර්ජන, බිය ගැන්වීම් නොඅඩුව මුදා හරිමිනි. එය ප්‍රකට කාරණයක් විය. 2011 වසරේ ජූනි 03 වන සතියේ වූ සිදුවීමක් මේ ලියුම්කරුට තවම මතකය. නාවික හමුදා ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරමින් සිටි නුවන් හෙට්ටිආරච්චි මාස කිහිපයකින් ඇරැඹීමට නියමිතව තිබු ඊළඟ තරග වාරයේදී මහනුවර පිලට එකතු වීමට සූදානමින් සිටි අතර, නාමල් මැදිහත්ව එය වළකාලූයේ ෆුල් බැක් ස්ථානයේ ක්‍රීඩා කළ එම ජවාධික ක්‍රීඩකයාව නාවික හමුදා පොලිස් අත්අඩංගුවට පත් කරමිනි. සති තුනකට ආසන්න කාලයක් වැලිසර හමුදා කඳවුරේ අඳුරු කුටියක සිරවී සිටීමට එදා හෙට්ටිආරච්චිට සිදු විණි. හැව්ලොක් පිලේ හිමිකාරිත්වය අත්පත් කරගැන්ම පිළිබඳ ඝාතනයට ලක්වූ වසීම් තාජුඩීන් හා නාමල් උණුසුම් වාදයක පැටලුණු බවට ක්ෂේත්‍රයේ ඇති කතා බොහෝය. කෙසේ වෙතත් ඒ පිළිබඳ ලිවීමට මෙය මොහොත නොවේ.

නාවික හමුදාව හා මහනුවර ක්‍රීඩා සමාජය අතර තරගය 2010 න් පසු කාලයේදී යුද්ධයක සිරි ගත් අතර, කන්ද උඩරට රග්බි දෙවොල ලෙස සැලකෙන නිත්තවෙලදී ගුටිබැට පූජාවන්ට ලක් වීමට සත්කාරක පිලේ ක්‍රීඩකයන්ට, ආධාරකරුවන්ට පමණක් නොව, තරග විනිසුරන්ට ද සිදු විණි. එහි කූටප්‍රාප්ති අවස්ථාව දැකගත හැකි වූයේ, 2012 අගෝස්තු 12 වැනි දින නිත්තවෙලදීය. 2014 වැලිසර දී පැවැති මේ දෙපිල අතර තරගයෙන් නාවිකයන් පරාජය වීමෙන් පසු ප්‍රධාන තරග විනිසුරුවරයා ඇතුළු පැති විනිසුරන් පහර කෑම ලක් වූයේ පොලිස් ආරක්ෂාව මැද්දේ ඔවුන් පසුබද්දීය. තත්ත්වය ඒ තරමටම දරුණු වී තිබිණි. සාමාන්‍යයෙන් නාවික හමුදා රග්බි කණ්ඩායම නිත්තවෙලදී තරග කරද්දී එම තරගය නැරැඹීමට බස් රථ 60 කින් 1200කට ආසන්න නාවික බළඇණියක් කොළඹින් පිටත්වීම අනිවාර්යය වී තිබූ අතර ඔවුනගේ ප්‍රවේශපත්‍ර, ආහාරපාන හා ප්‍රවාහන ආදි සියලු පිරිවැය අවසානයේදී බැර වූයේ රටේ බදු ගෙවන ජනතාවටය. රග්බි ක්‍රීඩාවේ මූලික නීතිරිති හෝ නොදත් එම සංචාරක පිරිසට පැවරි තිබු රාජකාරිය වී තිබුණේ රාජපක්ෂවරුන් පන්දුව රැගෙන දිව යද්දී ඝෝෂා නැඟීම පමණි.

රාජපක්ෂවරුන්ගේ සමයේදී නාමල්ගේ මැදිහත් වීමෙන් රග්බි ගමට රැගෙන ගිය බවට වූ ප්‍රවාදය ද ව්‍යාජයකි. දේශීය අන්තර් සමාජ තරගාවලිය වෙනුවෙන් හම්බන්තොට ෂාක්ස් හා නාවලපිටියේ අප් කන්ට්‍රි ලයන්ස් යනුවෙන් ක්‍රීඩා සමාජ දෙකක් පිහිටුවුවද එහි ආයු කාලය මාස විසිහතරකට වැඩි නොවීය. ඒවා තනිකරම දේශපාලන ව්‍යාපෘති පමණක් විය. කොළඹින් ගිය ක්‍රීඩකයන් ක්‍රීඩා කරනු අයුරු නැරැඹීම හැර ඊට වඩා දෙයක් එම ප්‍රදේශවල ක්‍රීඩාලෝලීනට හිමි වූයේ නැත.

විදේශිකයන්ට නෑකම් හැදූ නාමල්
ජාත්‍යාලය දේශප්‍රේමිත්වය ගැන ආඩම්බරකාර කතා හැම විටම මුමුනන නාමල් රාජපක්ෂලා බලයේ සිටියදී විදේශ ක්‍රීඩකයන්ව ද ජාතික කණ්ඩායමට ඇතුළත් කිරීමට ද කටයුතු කරන ලදී. ජාත්‍යන්තර රග්බි සංගමයේ නිර්ණායකයන්ට ගැළපෙන සේ ඒ ඇතැම් ක්‍රීඩකයන්ව ජාතික කණ්ඩායමට ඇතුළු කළේ පුත්තලමේ පදිංචි ගෝත්‍රික කණ්ඩායම්වලට ඔවුන්ගේ ඥාති සම්බන්ධතා ඇති බවට වූ ව්‍යාජ සහතික පවා නිර්මාණය කරමිනි. ඉමෝර් වකවුලගී, ජෝශප් ඩන්, අප්සායි නකලීවා, යන ෆීජි ක්‍රීඩකයන්ව ජාතීන් පහකගේ සහභාගිත්වයෙන් පැවැති 2014 ආසියානු තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළු කිරීම වෙනුවෙන් වූ උත්සාහය පිටුපස සිටි මහමොළකරු වූයේ නාමල්ය.

ක්‍රීඩාවේදී ජයග්‍රහණය වැදගත් මුත් වඩා වැදගත් වනුයේ එය සාධාරණ ආකාරයට ලබා ගැනීමය. 80 දශකයේදී අසාර්ථකව නාමල්ලා, යළි පණ දීමට උත්සාහ කළ මේ උත්සාහය සාර්ථක වූයේ නම් නිසැකවම එය අයහපත් පූර්වාදර්ශයක් මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයට එක්කිරීමට ඉඩ තිබිණි. සාර්ථක විණිනම් ඔලිම්පික් වැනි ජාත්‍යන්තර තරග සඳහා සහභාගි කිරීම කෙටි දුර ධාවකයන් ජැමෙයිකාවෙන් හෝ ඇමෙරිකාවෙන් ආනයනය කිරීමටත්, ලෝක කුසලානය දිනා ගැනීමට පාපන්දු ක්‍රීඩකයන් බ්‍රසීලයෙන් හෝ ආර්ජන්ටිනාවෙන් ආනයනය කිරීමටත් අදාළ බලධාරීන් කටයුතු කිරීමට හොඳටම ඉඩ තිබිණි. එහෙත් වංචාවට දිගු දුරක් ගමන් කිරීමට නොහැකි බව පෙන්වමින් තිඹිරි ගෙයදීම ඒ උත්සාහය පරාජයට පත් විය. රග්බි ප්‍රවර්ධනය යැයි කියමින් නාමල්ලා නැටුවේ ඒ ආකාරයේ කෝලම්ය.

මේ සියල්ලේ පව් ගෙවීමට දැන් නාමල්ලාට සිදුව තිබේ. මීට වසර දෙකකට ඉහත ඔහු ගෙවූ කුමාර ජීවිතය හා සසඳද්දී සත්‍යයට මුහුණ දීම යනු දුෂ්කර කටයුත්තක් බව සැබෑවක් වුවත් දැන් ඔහුට ඉන් පලා යා නොහැකිය. පලිගැනීමේ චේතනාවක් වෙනුවට මේ ක්‍රියාත්මක වෙමින් පවතිනුයේ නීතිය ක්‍රියාත්මක වීමය. කතාබහට ලක්ව ඇති මේ කාරණයේදී වංචාවක් සාවද්‍ය මුදල් පරිහරණයක් සිදුව ඇති බව සුපැහැදිලිය. එබැවින් ඒ පිළිබඳව පරීක්ෂණයක් අනිවාර්යයෙන්ම සිදු විය යුතුය. විනිවිද භාවයකින් යුතුවම එය සිදුකළ යුතුය. එය දේශපාලන පළිගැනීමක් නොවේ. එසේම මේ මාදිලියේ අයථා මුදල් භාවිතාවන් පිළිබඳ පැමිණිල්ල සම්බන්ධ ක්‍රියාකාරිත්වයේ ප්‍රමාදයක් ඇති බවත් එහි අනුපිළිවෙළ පිළිබඳ ගැටලුවක් ඇති බවත් සත්‍යයකි. යහපාලනය වෙනුවෙන් අතිදුෂ්කර කොන්දේසි මධ්‍යයේ එදා පෙනී සිටි සමාජ කණ්ඩායම් තුළ පවා ඒ ගැන ඇත්තේ දුක්ගැනවිල්ලකි. නාමල් පමණක් නොව, මෙවැනි අවභාවිතයන්හි යෙදුණු සියලු දෙනාටම එරෙහිව ආණ්ඩුවේ ද විපක්ෂයේ ද යන්න නොබලා නීතිය ක්‍රියාත්මක විය යුතු බව අප පවසන්නේ එබැවිනි.

  • චාමර ලක්ෂාන් කුමාර විසිනි

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close