Breaking News
Home / Gossip / නාමල්ව අත්අඩංගුවට ගත්තේ ඇයි? සියල්ල මෙන්න

නාමල්ව අත්අඩංගුවට ගත්තේ ඇයි? සියල්ල මෙන්න

ලෝකයේ කිසිදු රටක ආණ්ඩුවක් තමන්ගේ රටේ දේශපාලන සිරකරුවන් සිටින බව පිළිගන්නේ නැත. ආණ්ඩුව කරවන බල අධිකාරියට තමන්ගේ විරුද්ධවාදීන් දේශපාලන හේතු මත  සිරභාරයට ගැනීම කළ හැකිය. අනිවාර්යයෙන්ම ඔවුන් දේශපාලන සිරකරුවන්ය. 

එහෙත් චෝදනා ලෙස වෙනත් අපරාධයක් ඉදිරිපත් කිරීම සිදු කරයි. පසුගිය රාජපක්ෂ රෙජීමය සමයේ දී   සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් සිදු වූයේ ද එය යි. දේශපාලනික කාරණා මත කෙනෙකු සිරගතකර තබා ගැනීම කවර දේශපාලන මූලධර්මයක් මත රට පාලනය කරත් එය පිළිගත හැකි නොවේ. එය මුළුමනින්ම මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.පසුගිය කාලයෙහි මෙරට උතුරේත් දකුණේත් ඇති වූ සිවිල් කැරලි කෝලාහල සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා ගත් අය පැහැදිලිවම දේශපාලන සිරකරුවන් වූ අතර ඔවුන්ට එරෙහිව නඩු පැවරීම හෝ සිදු නොකර පුනරුත්ථාපනය කරනවා යැයි කියමින් රඳවා තබාගෙන පසුව නිදහස් කරනු ලැබුවේ, සෘජුව වෙනයම් අපරාධ චෝදනා එල්ල කිරීමේ හැකියාවක් හෝ නොතිබුණ බැවිනි. ඍජුව අපරාධ චෝදනා ඇත්නම් පමණක් නඩු පවරා දඬුවම් දීමේ හැකියාවක් තිබේ. එහෙත් එවැනි අවස්ථා විරලය. දේශපාලන කැරලිකරුවන් අත්අඩංගුවේ තබා ගන්නවාට වඩා අත්අඩංගුවට ගෙන හෝ රහසිගතව  මරා දැමීම (අතුරුදන් කිරීම) සිදු කරන්නේ ද මේ නිසාය. පොදු ජනතා වුවමනාවක් වෙනුවෙන් කළ දේශපාලන ක‍්‍රියාකාරකම් හේතුවෙන් සිදු වන අපරාධ ගණයේ ලා ගැනෙන වරදක දී වුව එම දේශපාලන ක‍්‍රියාකාරිකයන්ට නෛතිකව දඬුවම් පැමිණවීම  අසීරු කරුණකි. මන්ද,අපරාධය  අර්ථකථන කිරීම නීති පොත්වල නොමැති අතර ඒ ස්වභාව යුක්ති ධර්මයට අනුව අධිකරණය විසින් තීරණය කරනු ලබන බැවිනි. අපරාධයක් යනු රජයට එරෙහිව කරනු ලබන වරදක් ලෙස සැලකේ. එනම් එය සමස්ත සමාජයටම බලපාන වරදකි. ඒ අනුව එය විමර්ශනය කර වරදකරුවන්ට දඬුවම් දීම රජයේ වගකීමක් වේ. එහි දී දේශපාලකයාට වුව බේරී සිටීමේ ඉඩක් ඇත්තේ නැත.කොහොම වෙතත් ‘අපරාධකරුවකු’ දේශපාලන පක්ෂයක සාමාජිකයකු වීම, දේශපාලනික තනතුරක් දැරීම හෝ දේශපාලන සම්බන්ධතා ඇති පවුලක සාමාජිකයකු වීම  නිසා ඔහුව හෝ ඇයව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම කිසිසේත්ම දේශපාලන සිරකරුවකු ලෙස අර්ථ නිරූපණය කළ නොහැකිය. 

 

මොකක්ද චෝදනාව?

මේ වන විට නාමල් රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකි. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකි. එමෙන්ම රටේ ජනාධිපතිකම් ද කළ රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකි. අද ඔහු සිටින්නේ රිමාන්ඩ් බන්ධනාගාරයේ ය. ඒ පොදු ජනතාවගේ වුවමනාවක් වෙනුවෙන් දේශපාලන ක‍්‍රියාකාරකම්වල යෙදී පවතින රාජ්‍ය තන්ත‍්‍රයට හෝ ආණ්ඩු බලය හොබවන දේශපාලන අධිකාරියට අභියෝගයක්, අනර්ථකාරී දෙයක් සිදු කිරීම නිසා නොවේ. මුදල් වංචා චෝදනාවකටය. රුපියල් මිලියන 70 ක මුදල් වංචා චෝදනාවකටය. එම මුදල් වංචාව සිදු කිරීමට, ඔහුගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයේ බලය, ඔහුගේ පියා මේ රටේ විධායක ජනාධිපතිවරයා වීම, ඔහුගේ ලොකු තාත්තා රටේ කථානායකයා වීම, එක පොඩි තාත්තා කෙනෙක් ආර්ථික සංවර්ධන ඇමැති වීම, අනෙක් පොඩි තාත්තා මහා බලසම්පන්න ආරක්ෂක ලේකම්වරයා වීම සහ තාත්තාගේ විධායකයේ බලතල තමාට  ඕනෑ  ඕනෑ ලෙස පාවිච්චි කිරීමේ වරම ඔහුට ද ලැබී තිබීම යොදාගෙන ඇති බව පැහැදිලිවම පැවැසිය හැකිය. මන්ද, නාමල් රාජපක්ෂ සමඟ එවැනි ගනුදෙනුවකට යෑමේ අවශ්‍යතාව මේ ව්‍යාපාරිකයන්ට මතු වීමට වෙනත් හේතුවක් නොමැති බැවිනි. ඔහු රජයේ හෝ ආණ්ඩුවේ තීන්දු තීරණ ගන්නා පුද්ගලයකු නොවේ. ක‍්‍රිෂ් ගනුදෙනුව ඔහුට අදාළ වන්නේ මහජන නියෝජිතයකු ලෙස එහි හරි වැරැද්දක් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හෝ ඉන් පිටත දී පෙනී සිටීමට මිසක් ඔවුන් සමඟ මුදල් ගනුදෙනුවකට යෑම සිදු නොවිය යුතුව තිබුණකි.

මේ ආදී හේතු සියල්ල නිසා හෝ ඔහු දේශපාලන සිරකරුවකු වන්නේ නැත. එසේ කර ඇත්තේ ද බලය අනිසි ලෙස යොදා ගැනීමය. ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා දේශපාලන සිරකරුවකු යැයි කිසිවකු හෝ කියන්නේ නම් හෙතෙම මන්දබුද්ධිකයෙකි. නැතිනම් මේ වංචාකාරී ගනුදෙනුව ගැන අගක් මුලක් නොදන්නා පොදු ජන කොටස නොමඟ යැවීමට කරන තක්කඩි ප‍්‍රකාශනයකි.

මෙම මිලියන හැත්තෑවේ ගනුදෙනුව සිදු වන්නේ වංචාකාරී ගනුදෙනුවක් වූ ක‍්‍රිෂ් ගනුදෙනුවට අදාළ ඉන්දීය සමාගමක් වන ‘ක‍්‍රිෂ් ට‍්‍රාන්ස්වර්ක් පෞද්ගලික සමාගම කේන්ද්‍රගතවය. මෙහි මව් සමාගම ඉන්දියාවේ දැවැන්ත ව්‍යාපාරික ආයතනයක් වන මහදේවන් ඉන්ෆ‍්‍රාටෙක් පුද්ගලික සමාගමය. එම සමාගම මෙරට ආයෝජනය සඳහා එම සමාගමට අනුබද්ධව ක‍්‍රිෂ් ලංකා සමාගම පිහිටුවයි. ඉදිකිරීමට යෝජිත ක‍්‍රිෂ් සාප්පු සහ නිවාස සංකීර්ණය වෙනුවෙන් ඔවුන් විසින් 99 අවුරුදු බදු යටතේ කොළඹ කොටුවේ ට‍්‍රාන්ස්වර්ක් චතුරස‍්‍රයේ (හිල්ටන් හෝටලය ඉදිරිපිට) පිහිටි අක්කර 4.3 ක ඉඩමක් ලබා ගනී. මෙම මූල්‍ය ගනුදෙනුව ගැන මහත් ආන්දෝලනයක් එවකට ද පැවැති අතර මේ වනතුරුත් එය විසඳී නැත. ඒ සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් මේ වන විට සිදු වෙමින් පවතී. මෙරට පාර්ශ්වයක් ද සමඟ ක‍්‍රිෂ් ට‍්‍රාන්ස්වර්ක් පෞද්ගලික සමාගම මෙරට ලියාපදිංචි කර ස්ථාපිත කළේ මෙම සාප්පු සහ නිවාස සංකීර්ණය ඉදිකිරීම වෙනුවෙනි. මෙහි ඉන්දියානු පාර්ශ්වය වෙනුවෙන් අමිත් කට්යාල් සහ ඒ. පී. ගුප්තා ද මෙරට පාර්ශ්වය වෙනුවෙන්  ජානකී  සිරිවර්ධන ද  අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස සිටිති. මෙම සමාගමේ සභාපතිවරයා වන්නේ කට්යාල්ය.

 

අනුන්ගෙ කරපිට ජාවාරම්

රාජපක්ෂලා තමන් කළ සොරකම් අපරාධ තමන්ගේ ගිණුම්වලට බැර නොවන ලෙස ඉතා සූක්ෂ්මව වෙනත් පුද්ගලයන්ගේ කරපිටින් යන ලෙස කටයුතු කර තිබෙන බව රාජපක්ෂවරු බලයේ සිටින කාලයේදීම ඇතැම් මාධ්‍ය වාර්තා මඟින් හෙළිදරව් කර තිබුණි. මෙම   මජර ක‍්‍රිෂ් ගනුදෙනු ද එලෙස සිදු වී තිබේ. මහින්ද රාජපක්ෂ තමන් එක ඩොලරයක් හෝ හොරකම් කර ඇතැයි ඔප්පු කරන ලෙස අභියෝග කරන්නේ මේ නිසාය. එහෙත් හොරුන්ටත් වරදින තැන් ඇත. මේ ක‍්‍රිෂ් ගනුදෙනුවෙන් හෙළිදරව් වන්නේ එවැනි තවත් අවස්ථාවකි. තුවක්කු බටය තමන් අතේ තියෙනකම් චණ්ඩිකම් පෑ හැකි වූවත් ඒ අත හැරුණු විට තමන්ට යටහත්ව පහත්ව සිටින මිනිසුන් ස්වේච්ඡාවෙන්ම තමන්ට එරෙහිව නැගිටින බව රාජපක්ෂලා දැනගෙන හිටියා විය හැකිය. කෙසේ හෝ තුන් වන වරටත් බලය අත්පත් කර ගන්නට කළ හැකි හැම දහං ගැටයම ගැසුවේ ඒ නිසාය. යළි යළිත් වත්මන් ආණ්ඩුවට කිසිදු පදනමක් නොමැතිව වුව චෝදනා නගමින් කෙසේ හෝ ඉක්මනින්ම එය පෙරළා දමා රාජපක්ෂවරුන්ගේ ආධිපත්‍යය පිහිටුවීමට වෙර දරන්නේ ද ඒ වෙනුවෙනි.

ක‍්‍රිෂ් සමාගම හා නාමල් රාජපක්ෂ කළ තක්කඩි ගනුදෙනුව ගැන  සරලවම සඳහන් කළොත් මෙසේය. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ විමර්ශනවලට අනුව නාමල් රාජපක්ෂ, 2013 වසරේ දී කාල්ටන් සුපර් සෙවන් රග්බි තරගාවලියේ අනුග‍්‍රාහකත්වය ලබා දෙන ලෙස ඉල්ලා ක‍්‍රිෂ් ලංකා සමාගමේ අධ්‍යක්ෂවරයකු වූ ඒ. ආර්. ගුප්තාගෙන් නාමල් රාජපක්ෂ ඉල්ලා ඇත. ඒ අනුව රුපියල් මිලියන 70 ක් ලබා දීම සිදු කර ඇත. එය ලබා දී තිබුණේ මෙම තරගාවලිය සංවිධානය කරන ප‍්‍රීමියර් ස්පෝර්ට් ලිමිටඩ් පුද්ගලික සමාගමේ සභාපතිවරයා ලෙස පෙනී සිටි නිමල් පෙරේරා නම් ව්‍යාපාරිකයාටය. නිමල් පෙරේරාගේ ගිණුමට බැර කෙරුණ මුදල් පසුව නිමල් පෙරේරා නාමල් රාජපක්ෂ අතටම ලබා දී ඇත. ඒ බව නාමල් රාජපක්ෂ ද පිළිගෙන ඇත. නමුත් එම මුදල් අදාළ රගර් තරගාවලියේ මුදල් කමිටුවකට බාර දුන් බවට පට්ට කෙබරයක් නාමල් විමර්ශන නිලධාරීන්ට පවසා ඇත. එම මුදල් ගනුදෙනුව ගැන නාමල්, නිමල් සහ ක‍්‍රිෂ් සමාගමේ බලධරයන් හැර මෙම තරගාවලියට සම්බන්ධ කිසිවකුත් නොදන්නා බව මෙම විමර්ශනවල දී හෙළිව තිබේ. නාමල් එම මුදල් තමන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදාගෙන වංචාවක් සිදු කර ඇති බව අනාවරණය වන්නේ ඒ අනුවය. මේ සම්බන්ධ විමර්ශනවල දී නිමල් පෙරේරා පවසා තිබෙන්නේ තමාගේ ගිණුමට ලැබුණු මුදල් ලබා දුන්නේ කවුරුන්ද යන්න නොදන්නා බවත් ඒවා රග්බි තරගාවලියට ලැබුණු අනුග‍්‍රාහක මුදල් බව ද ඔහු නොදන්නා බවත්ය. එමෙන්ම එම සමාගමේ  අධ්‍යක්ෂ මණ්ඩලය ද ගිණුම් නිලධාරීන් ද එම මුදල් ගනුදෙනුව ගැන කිසිවක්ම නොදනී.

 

කවුද මේ නිමල් පෙරේරා?

නමුත් රාජපක්ෂලාගේ කැරැට්ටුව අනුව මෙම ප‍්‍රීමියර් ස්පෝර්ට් ලිමිටඩ් පුද්ගලික සමාගමේ සභාපතිවරයා හෝ අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස කවුරුන් පෙනී සිටියත් මෙම සමාගම රාජපක්ෂ පවුලේ පුත‍්‍රයන්ගේ මෙහෙයවීම යටතේ තිබූ තවත් එක සමාගමකි. නිමල් පෙරේරා කියන්නේ ද රාජපක්ෂලා හොරකම් කළ කළු සල්ලි සුදු කිරීම වෙනුවෙන් පෙනී සිටි ව්‍යාපාරිකයන් කිහිප දෙනා අතර ප‍්‍රමුඛයෙක් බවට චෝදනා ලද්දෙකි. නිමල් පෙරේරලා සම්බන්ධ වූ තවත් මූල්‍ය අක‍්‍රමිකතා රැසක් ගැන ද මේ වන විට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සහ බරපතළ අපරාධ පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම විමර්ශන පවත්වමින් පවතී. නිමල් පෙරේරලා වැනි ව්‍යාපාරිකයන් පසුගිය කාලයේ බිලියනපතියන් වූයේ මේ ජාවාරම්වල කොටස්කරුවන් වෙමින් බවට ද සැකයක් පවතී. ඒ අනුව මෙහි දී නිමල් පෙරේරලාගේ සාක්කි රාජපක්ෂලාව ගොඩ දැමීම හෝ තමන්ගේ ගොඩ බේරා ගැනීමේ උත්සාහයක් වෙනුවෙන් විය හැකි බව ද සැලකිය යුතුය. කෙසේ නමුත් මෙම ක‍්‍රිෂ් ගනුදෙනුව ගැන මහෙස්ත‍්‍රාත්වරයා හමුවේ ඔහු පාපොච්චාරණයක් ද සිදු කර ඇත.

 

අපි නොදන්න රග්බි

මෙලෙස ලබා ගත් මුදලේ ප‍්‍රමාණය ගැන කියැවෙන්නේ මිලියන 70 ක මුදල ගැන පමණක් වුව ඊට එහා ගිය ගනුදෙනු ද තිබිය හැකිය. එපමණක් නොව මෙම මුදල් ලබා ගත්තේ මෙම රග්බි තරගාවලිය වෙනුවෙන්ම බව පැවසෙන කතාව ද සත්‍යයක් යැයි පිළිගත හැකි නොවේ. මන්ද මෙම චෝදනාව ඉදිරිපත් වන කාලයෙහි රග්බි තරගාවලියක් සඳහා ක‍්‍රිෂ් සමාගම අනුග‍්‍රහය දැක්වූ බවක් කිසිදු තැනක වාර්තා වී නැත. චෝදනාව ඉදිරිපත් වී වසරක කාලයක් පමණ ඒ විමර්ශනය ප‍්‍රමාද වීමේ කාලය මත චෝදනාවලට අලූත් උත්තර ලියකියවිලි සකසා ගැනීම අමාරු වැඩක් නොවේ. ඒ රාජපක්ෂලාට නොපුරුදු නොහැකි වැඩ ද නොවේ. එම නිසා මේ අලූත් කතන්දරය ගැන එතරම් විශ්වාස කළ යුතු නැත.

මෙම ගනුදෙනුව සිදු වන්නේ ද මේ ක‍්‍රිෂ් සමාගම සහ ශ‍්‍රී ලංකා රජය සිදු කළ ගනුදෙනුව සැකයට භාජනය වෙමින් යම් අර්බුදයකට ගොස් තිබූ සමයකය. එම ගැටලූව විසඳීම වෙනුවෙන් එවකට තවත් රුපියල් මිලියන 450 ක වංචාකාරී කොමිස් ගනුදෙනුවක් ද සිදුව තිබිණි. එය එවකටම හෙළිදරව් විය.

රජය වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය, 2012 දී ක‍්‍රිෂ් සමාගම සමඟ අත්සන් කළ ගිවිසුමට අනුව තවත් රුපියල් මිලියන 450 ක් තමන්ට අය විය යුතු බව ප‍්‍රකාශ කරන විට අදාළ සමාගම පවසන්නේ තමන් සියලූ මුදල් ගෙවා අවසන් බවයි. මෙම කොමිස් ගනුදෙනුව හෙළි වන්නේ ඉන් අනතුරුවය.

මෙම ගැටලූව නිසා හෝටල් ව්‍යාපෘතිය අතරමඟ ඇන හිටින අතර එම ප‍්‍රමාදය දඩමීමා කරගෙන ගෝඨාභය රාජපක්ෂ යටතේ තිබූ නාගරික සංවර්ධන අධිකාරිය, ක‍්‍රිෂ් සමාගමට රුපියල් මිලියන 550 ක මුදලක් දඩයක් ලෙස පනවා අදාළ හිඟ මුදල් පියවා ගැනීමේ උත්සාහයක ද නිරත විය. මෙය දිගින් දිගටම යන අර්බුදයක් වූ අතර තවමත් මෙය විසඳී නැත.

නාමල් රාජපක්ෂගේ මිලියන 70 ගනුදෙනුව ද මෙම කොමිස් කෙළියේම තවත් කොටසක් විනා වෙන යමක් නොවන බව පැහැදිලි නමුත් මේ සම්බන්ධයෙන්  රාජපක්ෂලා නිර්මාණය කළ කතාව වූයේ මේ මිලියන  70ගත්තේ 2013 ඔක්තෝබරයේ පැවති කාල්ටන් සුපර් සෙවන් රග්බි තරගාවලියේ අනුග‍්‍රහය වෙනුවෙන් බවය.  ක‍්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ද පවසන්නේ ශ‍්‍රී ලංකාවේ රගර් ක‍්‍රීඩාව නැංවීම පිණිස නාමල් රාජපක්ෂ තම සමාගමෙන් අනුග‍්‍රාහකත්වය ඉල්ලා සිටිය බවත් ඒ අනුව ලංකාවේ රගර් ක‍්‍රීඩාව දියුණු කිරීමේ සද් චේතනාවෙන් මිලියන 70 ක මුදල තෙවරක දී ලබා දුන් බවය.

ඒ අනුව නාමල් රාජපක්ෂගේ කතාව සත්‍යයක් නම් ඔහු සිදු කර තිබෙන්නේ මෙරට රග්බි ක‍්‍රීඩාව වැඩි දියුණු කිරීම වෙනුවෙන් අගනා සේවයකි. එහෙත් ඒ සේවයේ තරම සොයාගෙන යද්දී හෙළිදරව් වූයේ එම මිලියන 70න් එක ශත පහක්වත් මේ රටේ රග්බි ක‍්‍රීඩාව වෙනුවෙන් යොදා නැති බවය. නාමල් රාජපක්ෂ එම මිලියන 70 ම සාක්කුවේ දමාගෙන ඇත.

නාමල් කළ වැරැද්ද මෙයය. ‘සාපරාධී විශ්වාසය කඩ කිරීම හා සාපරාධී සාවද්‍ය පරිහරණය සහ වංචා කිරීම’ යන චෝදනාව ඔහුට එල්ල වන්නේ මේ හේතුවෙනි. මෙය මුදල් විශුද්ධිකරණ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි.

 

අවසානය කුමක්ද?

මහින්දවාදීන්ගේ අනෙක් චෝදනාව නාමල්ව අත්අඩංගුවට ගන්නේ පැමිණිල්ලක් නොමැතිව කියන කතාවය. බැලූ බැල්මට නම් නාමල්ට එරෙහිව පැමිණිලි කළ යුතුව තිබෙන්නේ ක‍්‍රිෂ් සමාගම හෝ රග්බි සංගමයයි. ඒ දෙගොල්ලෝම මෙය සිදු කර නොමැත. පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබුණේ දූෂණ විරෝධී හඬ සංවිධානයේ වසන්ත සමරසිංහගෙනි. ඒ, මෙම කි‍්‍රෂ් ගනුදෙනුව එම සමාගමට වාසිදායක ලෙස විසඳා ගැනීම සඳහා නාමල් රාජපක්ෂට සහ නාලක ගොඩහේවාට කප්පම් මුදල් ලබා දී ඇති බවට ලැබුණු තොරතුරු අනුවය. ඒ සම්බන්ධ සාක්ෂි දැන් ලැබී තිබේ.

නාමල් රිමාන්ඩ් භාරයේ පසුවෙන්නේ මේ චෝදනාව නිසාය. නාමල් දේශපාලන සිරකරුවකුද නැත්නම් මූල්‍ය වංචාවක් නිසා රිමාන්ඩ් භාරයේ පසුවන්නේද යන්න දැන් පැහැදිලිව තෝරා බේරාගත හැකිය.

නාමල්ව රිමාන්ඩ් භාරයේ තැබිය යුතු බවට මූල්‍ය අපරාධ කොට්ඨාසය ඉල්ලා සිටින්නේ මෙම දූෂිත ගනුදෙනුවේ ඉදිරි විමර්ශන කටයුතුවලට නාමල් රාජපක්ෂගෙන් බාධාවක් එල්ල වේ යැයි සාධාරණ සැකයක් ඇති බැවිනි. 

මෙහි දී මතුව ඇති අනෙක් ප‍්‍රශ්නය වන්නේ නාමල් ලබාගත් මේ මිලියන 70 ට සිදු කළේ මොනවාද යන්න ගැන ඔහුට කටඋත්තර නැති වීමය. පොලිස් විමර්ශනවල දී නාමල් රාජපක්ෂගේ තවත් අයථා මුදල් ගනුදෙනුවක් ගැන හෙළි වී තිබේ. ඒ හෙලෝකෝප් සමාගම මිල දී ගැනීම සම්බන්ධයෙනි. ඔහු මේ සමාගම මිලදී ගෙන තිබෙන්නේ රුපියල් කෝටි 100ක් ගෙවීමෙනි. නාමල් මේ රුපියල් කෝටි 100 ය උපයා ගත්තේ කෙසේද? වසර කිහිපයක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වැටුප හැර ඔහු ඉපැයූ අනෙක් ආකාර ගැන නාමල්ට කටඋත්තර නැත. ඔහු නීතිඥයකු වුවත් ඔහුට නඩු නැති බව කවුරුත් දන්නා කතාවකි. ඉන් ඔහු ඉපැයූ දෙයක් ද නැත.

මේ සම්බන්ධයෙන් කළ විමර්ශනවල දී අනාවරණය වන්නේ නාමල් රාජපක්ෂ ක‍්‍රිෂ් සමාගමෙන් ලබා ගත් මිලියන 70 කප්පමෙන් මිලියන 52ක් බංග්ලාදේශයේ පදිංචිකරුවකු වන අහමඩ් අල් සමාන් නමැති පුද්ගලයාගේ ගිණුමට බැර කර නැවත මෙරට නාමල් රාජපක්ෂගේ ගිණුමකට ඉන් මිලියන 50 ක් ගෙන්වාගෙන ඇති බවය. එමෙන්ම එම දිනයේම බැංකු අයිරාවක් මඟින් තවත් මිලියන 50ක් ලබාගෙන අදාළ සමාගම මිලියන100 කට මිලදී ගැනීම සිදු කර ඇත. මේ සම්බන්ධ විමර්ශනයක් ද මේ වන විට පවත්වාගෙන යයි. මෙම ගනුදෙනුවට සම්බන්ධ බංගලිදේශ ජාතිකයා දැනට අතුරුදන්ව සිටී. නාමල් රාජපක්ෂ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා ගැනීම පොලිස් විමර්ශනයේ දී අත්‍යවශ්‍ය තත්ත්වයකි. මේ සම්බන්ධයෙන් විවේචනයක් තිබිය හැකි නම් මේ සිදු කිරීමට වසරකට වඩා කල් ගැනීම ගැන චෝදනාව හැර වෙනෙකක් තිබිය නොහැකිය.

–     – සුභාෂ් ජයවර්ධන

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close