Breaking News
Home / Gossip / නාමල්ගේ කළු සල්ලි සුදු කිරීමේ ජාවාරම් නඩුවේ වාර්තාව මෙන්න

නාමල්ගේ කළු සල්ලි සුදු කිරීමේ ජාවාරම් නඩුවේ වාර්තාව මෙන්න

අයථා ලෙස ඉපැයූ බව කියන රුපියල් මිලියන 45ක මුදලක් තමන්ට අයත් සමාගම් දෙකක් හරහා මුදල් විශුද්ධිකරණය කළ බව කියන සිද්ධියකට අදාළව මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ මහතා හා සමාගම් අධ්‍යක්ෂවරයකු මේ මස 22 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (15) නියෝග කළාය.

 පොලිසිය දීර්ඝව සිදුකළ එම විමර්ශන සම්පිණ්ඩන වාර්තා අනුව මුදල් විශුද්ධිකරණ පනත යටතේ සැකකරුවන් වරදක් කර ඇති බවට පෙනී යන බවත් සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කරන ලද විමර්ශනවලට බාධා හා බලපෑම් එල්ල විය හැකි බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධානාගාර ගත කරන බවට මහේස්ත්‍රාත්වරිය මෙහිදී දැනුම් දුන්නාය.

පළමු හා දෙවන සැකකරුවන්ට ඇප ලබා දුනහොත් ඔවුනට විරුද්ධව ඇති සාක්කිකරුවන් කෙරෙහි අයුතු මැදිහත් වී යුක්තිය ඉෂ්ට කිරිමට අන් ආකාරයේ බලපෑමක් ඇති විය හැකි බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් බන්ධනාගාරගත කර කඩිනමින් විමර්ශන අවසන් කරන ලෙස මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත මහේස්ත්‍රාත්වරිය නියම කළාය.

ඊයේ (15) සැකකරුවන් දෙදෙනා මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කරමින් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකක 2 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සජිත් මහතා පැවසුවේ දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වන වසන්ත සමරසිංහ මහතා කළ පැමිණිල්ලකට අනුව මෙහි විමර්ශන ආරම්භ කළ බවය.

එන්. ආර්. කන්සල්ට් පෞද්ගලික සමාගම හා ගවර්ස් කොපරේට් පෞද්ගලික සමාගම හරහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අයථා ලෙස උපයා ගත් මුදල් විශුද්ධිකරණය කොට පූර්ණ කොටස් අයිතිය වශයෙන් හෙලෝකොප් සමාගම මිලියන 100කට මිලදී ගත් බව පවසමින් ඒ සම්බන්ධව විමර්ශනයක් පවත්වන ලෙසට කැඳවුම්කරු තවදුරටත් ඉල්ලා සිටි බවට හෙතෙම අධිකරණය හමුවේ පැවැසීය.

ඒ අනුව එම සමාගම්වල ගනුදෙනු හා පූර්ණ කොටස් අයිතිය පිළිබඳ විමර්ශන ආරම්භ කළ බව පැවසූ සජිත් මහතා උපදේශන සේවා සපයන එන්. ආර්. කන්සල්ටන් සමාගම හා ගනුදෙනු කළ රොහාන් ඊරියගොල්ල මහතාට අයත් බොස්ටන් කැපිටල් සමාගම අතර ව්‍යාජ ගනුදෙනු පෙන්වන ඉන්වොයිස් තිබූ බවට තොරතුරු අනාවරණය කර ගත් බව පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ මහතා ඔහු සමඟ සිටින නීතිඥ ඉන්දික ප්‍රභාත් කරුණජීව මාර්ගයෙන් මිලියන 15 මුදලක් හා මිලියන 30 චෙක්පතක් බොස්ටන් කැපිටල් සමාගම වෙත ලබා දී සේවා ලබා ගන්නා මුවාවෙන් මුදල් විශුද්ධිකරණ කර ඇති බව පැවසූ පොලිස් පරීක්ෂකවරයා මේ සම්බන්ධව නීතිපතිවරයා වෙත කරුණු දැක්වීමෙන් අනතුරුව වෙන වෙනම නඩු පවරන ලෙස උපදෙස් ලැබුණු බව පැවැසීය.

රුපියල් මිලියන 15ක මුදල එන්.ආර්. කන්සල්ටන් පෞද්ගලික සමාගම හරහා ද රුපියල් මිලියන 30 චෙක්පත ගවර්ස් කොපරේට් පෞද්ගලික සමාගම හරහා මෙසේ මුදල් විශුද්ධිකරණය කර ඇති බවට අධිකරණයට කරුණු දැක්විණ.

පසුව එන්. ආර්. කන්සල්ටන් පුද්ගලික සමාගමෙහි ලියාපදිංචිය සොයා බැලීමේදී එහි අධ්‍යක්ෂවරුන් වන සුදර්ශන බණ්ඩාර ගනේගොඩ, නිත්‍යා සේනානි සමරනායක, සුජානි බෝගොල්ලාගම, දිල්රුක්ෂි මහනාම හා තවත් සේවකයින් කිහිපදෙනකු පිළිබඳ කරුණු අනාවරණය වූ බවට පොලිස් පරීක්ෂකවරයා අධිකරණය හමුවේ පැවැසීය.

ඉන් අනතුරුව ගවර්ස් කෝපරේට් සමාගමේද ලියාපදිංචිය පිළිබඳව සොයා බැලූ බවත් පෙර සමාගමේ අධ්‍යක්ෂවරිය වන නිත්‍යා සේනානි සමරනායක, නීති නිලධාරි ඔරනෙල්ලා සුජානි බෝගොල්ලාගම, දිල්රුක්ෂි මහනාම යන අය ද මින් හඳුනාගත් බව පැවැසීය.

පසුව සමාගම් දෙකේ කාර්ය පටිපාටිය පරීක්ෂා කළ බව සඳහන් කළ සජිත් මහතා එක් සමාගමක ඉන්වොයිස් පත්‍ර 25ක් අනෙක් සමාගමේ ඉන්වොයිස් පත්‍ර 14ක් ලබාගෙන විමර්ශන කළ බව පැවැසීය.

අධ්‍යක්ෂවරුන් හා ගනුදෙනුවලට අදාළ ලේඛන ගිණුම් පරීක්ෂා කිරීමේදී ගනුදෙනු කළ පුද්ගලයින් සොයා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා විමර්ශන ආරම්භ කළ බවත් එහිදී බොස්ටන් කැපිටල් ආයතනය සේවා පහසුකම් ලබාගෙන ඇති බවට ඉන්වොයිස් පත්‍රවල සඳහන් කර තිබූ බැවින් බොස්ටන් කැපිටල් සමාගමේ හිමිකරු වන රොහාන් ඊරියගොල්ල කැඳවා විමර්ශනය කළ බව පැවැසීය.

මුල් අවස්ථාවලදී ඔහු විසින් කරුණු හෙළිකිරීම පැකිලුණු අතර ගනුදෙනු වූ ආකාරය පිළිබඳව කරුණු අනාවරණය කිරීමේදී ඔහු විසින් සියලු කරුණු අනාවරණය කළ බවට සජිත් මහතා පැවැසීය.

පාර්ලි‍ෙම්න්තු මන්ත්‍රී ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ මහතා හඳුනාගෙන ඔහුගේ උපදෙස් මත ඉන්දික ප්‍රභාත් කරුණාජීව නමැති අය හරහා සමාගම් දෙකේ කාර්යාල වෙත ගොස් සාකච්ඡා කර නීතිඥ ඉන්දිකගේ උපදෙස් මත 2012 රුපියල් මිලියන 15ක මුදලක් ඊරියගොල්ල මහතාට ලබා දී ඇති බවත් එය කැපිටල් බොස්ටන් ආයතනයේ තැන්පත් කර විටින්විට ඉන්වොයිස් හරහා එන්.ආර්. ‍කන්සල්ටන් සමාගමේ ගිණුම් වෙත තැන්පත් කරගෙන ඇති බවට කරුණු අනාවරණය වන බවට පොලිස් පරීක්ෂකවරයා පැවැසීය.

මේ අයුරින්ම මිලියන 30 වටිනාකමට අදාළ චෙක්පතද ඊරියගොල්ලට ලබා දී බොස්ටන් සමාගමේ තැන්පත් කර මුදල් විටින්විට ගවර්ස් කෝපරේට් සමාගම වෙත නිකුත් කර ඇති බවත් මෙලෙස ගෙවීම් කරන මුවාවෙන් ගිණුම්වල තැන්පත් කර ඇති බවත් නීතිපති උපදෙස් අනුව මුදල් විශුද්ධිකරණ පනත 3 (1) වගන්ති ප්‍රකාරව වරදක් සිදුකර ඇති බව පැවැසීය.

මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, සුදර්ශන බණ්ඩාර ගනේගොඩ, නිත්‍යා සේනානි ගනේගොඩ හා සුජානි බෝගොල්ලාගම ඊයේ (15) කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවූ බවත් ඒ අනුව පැමිණි පා.ම. නාමල් රාජපක්ෂ හා සුදර්ශන බණ්ඩාර ගනේගොඩ මහතා අත්අඩංගුවට ගත් බව පැවසූ මූල්‍ය කොට්ඨාසය සැකකාර නිත්‍යා සේනානි සමරනායක නිවසේ නොසිටි බවත් සුජානි බෝගොල්ලාගම ආසිරි රෝහලේ ප්‍රතිකාර ලබන බවටද පවසා සිටි මූල්‍ය අපරාධ කොට්ඨාසය ඉන්දික ප්‍රභාත් කරුණාජීව සැකකරු විමර්ශන අතරතුරදී බිරිය සමඟ විදේශගතව ඇති බවත් ඔරෙනෙල්ලා ඉරේෂා සිල්වා නැමැති සැකකාරිය විදේශගතව ඇති බව සඳහන් කළේය.

මීට අමතරව වි‍ෙද්ශ සමාගම් හරහා ද ගනුදෙනු සිදුවී ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යංශය හරහා එම්. එල්. ඒ. වාර්තා කැඳවා ඇති බවත් එන්. ආර්. කන්සල්ටන් සමාගම 2013/6/19 දින බංග්ලාදේශ ජාතික අහමඩ් සලාම් නමැති අයට මිලියන 50 කට පා.ම. නාමල් රාජපක්ෂ මහතා අලෙවි කර කොටස් අයිතිය පමණක් පවරා ඇති බව සඳහන් කළේය.

එහෙත් අධ්‍යක්ෂ මණ්ඩලයේ කිසිදු වෙනසක් සිදුකර නැති බවත් මොහු පොලිසිය වෙත කැඳවූවද විමර්ශන මඟහැර සිටින බවත් මොහුට බලපෑමක් ඇති බවට සැකයක් පවතින බවත් විමර්ශන අවසන් කරන තෙක් මේ මස 29 දක්වා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මූල්‍ය කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදි සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා පැවසුවේ 2015/12/29 ඊරියගොල්ල මහතාගේ කටඋත්තරය පිළිබඳ පොලිස් බී වාර්තාවේ මිලියන 14ක් දුන් බවත් මිලියන 20 හා මිලියන 16 චෙක්පත් දෙකක් ලබාදුන් බවත් එය ලංකා බැංකු මූලස්ථානයට නිකුත් කළ චෙක්පත් බවට කරුණු වාර්තා කර තිබෙනවා.

මේ පිළිබඳව විමර්ශන පවත්වද්දී මිලියන 16 හා 20 චෙක්පත වෙනුවට මිලියන 30 චෙක්පතක් ලැබුණු බවට මූල්‍ය අපරාධ කොට්ඨාසය සඳහන් කරනවා.

ඊරියගොල්ල මහතාගේ පළමු කටඋත්තරයට හාත්පසින්ම වෙනස් කටඋත්තරයක් 2016/1/7 පවසා තිබෙනවා. 2016/3/8 ගවර්ස් කෝපරේට් මිලියන 30 ලක්ෂ 3ක ගිණුම්ගත කර ඇති බව සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව ඊරි‍යගොල්ල මහතාට අයත් සමාගම් 5ක් සම්බන්ධව මුදල් විශුද්ධිකරණ යටතේ විමර්ශනයක් පවත්වනවා. එබැවින් ඔහු එම ගෙවීම් මෙම සමාගම් වෙත බැර කර පෙන්වලා.

ඊරියගොල්ල පවසන්නේ අමූලික බොරු, ඔහු මෙම සිද්ධියේ සැකකරුවකු විය යුතු යැයි නීතිඥවරයා පැවැසීය.

තවද අහමඩ් සල්මාන් පිළිබඳව 2015/12/16 අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා. ඔහුගේ ගිණුම් 17ක් පිළිබඳ විමර්ශන පවත්වන බවටද සඳහන්ය. ඔහු සම්බන්ධයෙන් අපට බලපෑම් කළ යුතු නැහැ.
මිලියන 307 මුදල් විශුද්ධිකරණය කර ඇති බව සඳහන් කළ මූල්‍ය අපරාධ කොට්ඨාසය දැන් මිලියන 45 දක්වා අඩු කර ඇති බව පැවසු නීතිඥවරයා සැකකරුවන් සාක්කිවලට කිසිදු බලපෑමක් සිදුකිරීමට හේතුවක් නොමැති බැවින් ඔවුන් ඇප මත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

මහේස්ත්‍රාත්වරිය – ඊරියගොල්ලගේ ප්‍රකාශ කීයක් ගත්තද?

පොලිසිය – සමස්ත විමර්ශනයට පස් වතාවක් ප්‍රකාශ ගත්තා.

මහේස්ත්‍රාත්වරිය – මුදල් විශුද්ධිකරණයේ වටිනාකම කීයද?

පොලිසිය – මිලියන 15 විශුද්ධිකරණයෙන් මිලියන 17.7 ලබාදී තිබෙනවා. මිලියන 30 මිලියන 30 ලක්ෂ 3 ලබාදී තිබෙනවා. තම අතේ මුදල් පාඩු කරගෙන ඉන්වොයිස් පත්‍රවල සටහන් මෙම මුදල් ගෙවූ බවට ප්‍රකාශ වෙනවා.

ස්වාධීනව විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව පැවසූ මූල්‍ය කොට්ඨාසය මන්ත්‍රීවරයාට ඇති බිය නිසා සාක්කිකරුවන් සත්‍ය වසන් කර ඇති බවත් අවසානයේදී ඊරියගොල්ලට සත්‍ය ප්‍රකාශ කරන්න සිදුවූ බව පැවැසීය.

මහේස්ත්‍රාත්වරිය – ඊරියගොල්ල සැකකරුවෙකුද?

පොලිසිය – නීතිපති උපදෙස් ලැබෙනතුරු ඔහු සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසට දන්වා තිබෙනවා.

තවද අහමඩ්ගේ ගිණුමට මිලියන 50 එක් දින ලැබී නාමල් මන්ත්‍රීතුමාට නැවත එම මුදල් ලැබී තිබෙනවා. මුදල ඉපැයූ ආකාරය දක්වා නැහැ.

තව ද මිල් කන්ස්ට්‍රක්ෂන්හි ජෝ සෙල්වනායගම් මහතාට මුල් අවස්ථාවලදී මන්ත්‍රීවරයාට තිබෙන බිය නිසා කරුණු අනාවරණය නොකළ බවත් ඒ අනුව මෙම විමර්ශනයේ සාක්කිකරුවන්ට සැකකරුගෙන් බලපෑම් ඇති බවට වුණු අනාවරණය වෙන බවට මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැක්විය.

අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය පොලිසියේ මූලික විරෝධතාවය අනුව සාක්කිවල බලපෑම් ඇති විය හැකි කරුණු සලකා බලා ඇප දුන්නොත් සාක්කිකරුවන් වෙත අයුතු ලෙස බලපෑම් කර යුක්තිය ඉටුකිරීමට අන් ලෙස බලපෑම් ඇතිවිය හැකි බැවින් සැකකරුවන් 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළාය.

මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ හා සමාගමේ අධ්‍යක්ෂවරයකු වන සුදර්ශන බණ්ඩාර ගනේගොඩ යන අය මේ මස 22 දක්වා බන්ධනාගාරගත විණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන, උදය ගම්මන්පිල, ඩලස් අලහප්පෙරුම, එම්. මුසම්මිල්, නිශාන්ත රණතුංග ඇතුළු පිරිසක් අධිකරණය වෙත පැමිණ සිටියහ.

පැමිණිල්ල වෙනුවෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය සහකාර පොලිස් අධිකාරි පවිත්‍ර දයාරත්න සමඟ පොලිස් පරීක්ෂක සජිත් පෙනී සිටි අතර නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතාගේ උපදෙස් මත නීතිඥ ගනේෂ් ධර්මවර්ධන, මහේෂ් කොටුවැල්ල, සම්පත් මෙන්ඩිස්, උදය ගම්මන්පිල, ලලිත් පියුම් පෙරේරා, තිළිණ විජේසිංහ, මේනකා කුරේ, ආසිරි දිසානායක, නිමේෂ් මානම්පෙරුම, දිදුල රාජපක්ෂ, ශාන්ත හේරත් යන අය සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close