Breaking News
Home / Gossip / ජනපති මෛත්‍රි මරන්න ආ කොටි අල්ලා ගත් මෙහෙයුම

ජනපති මෛත්‍රි මරන්න ආ කොටි අල්ලා ගත් මෙහෙයුම

ප්‍රභූ ඝාතන ඒ සඳහා වන සැලසුම් රටේ සාමාන්‍ය ක්‍රියාවලියක්‌ වන තරමට ත්‍රස්‌තවාදය විසින් රට අවියක්‌ කරගෙන සිටි බිහිසුණු කාලයක්‌ අපි පසු කළෙමු. රාජ්‍ය නායකයන් ප්‍රභූන් මෙන්ම අහිංසක වැසියන් සිය දහස්‌ ගණනින් ඝාතනය කළ මේ ම්ලේච්ඡ ත්‍රස්‌තයන් මුළු ශ්‍රී ලංකාවම මහා අගාධයකට ඇද දැමුවේය.

පොළොන්නරුවේ ඉපිද අනේකවිධ දුක්‌ඛ දෝමනස්‌සයන්ට මුහුණ දෙමින් රටේ පළමුවන පුරවැසියා වීමේ මහා භාග්‍ය උදාකර ගත් මෛත්‍රිපාල සිරිසේන මහතා ද කොටි ත්‍රස්‌තවාදීන්ගේ ප්‍රධානම ඉලක්‌කයක්‌ බවට පත්ව සිටියේය.

වරක්‌ දෙවරක්‌ නොව පස්‌ වතාවක්‌ම මේ ම්ලේච්ඡ ත්‍රස්‌තවාදීහු මෛත්‍රිපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට උත්සාහ කළහ.

මීට දස වසරකට පෙර, 2006 අප්‍රේල් 24 වැනිදා වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා ඝාතනය කිරීම සඳහා පාපැදියක ක්‌ලේමෝ බෝම්බයක්‌ අටවාගත් ත්‍රස්‌තයකු මහ මග බලා සිටියේය. වාසනාව ජාතිය පැත්තේ සිටීම හේතුවෙන් ව්‍යර්ථ වී ගිය එහි ප්‍රයත්නය යළි ජනතා මතකයට නැගෙන්නේ, පසුගිය ජනවාරි අට වැනිදාය. එදා ත්‍රස්‌ත ඉලක්‌කයෙන් බේරුණු අමාත්‍යවරයා ජනාධිපති ලෙස පත්වී, සිය පළමු පදවි ප්‍රාප්තිය සමරන ලද්දේ, තමන් මරාගෙන මැරෙන්නට පැමිණි කොටි ත්‍රස්‌තවාදියා වූ, ශිවරාජා ජෙනීවන්ට නිදහස ලබා දෙමිනි.

නමින් පමණක්‌ නොව ක්‍රියාවෙන්ද මෛත්‍රිභාවය පෙන්නුම් කළ ජන නායකයකු, සිය ගමනේ මැද භාගයේදී මරා දමන්නට ත්‍රස්‌තයන් ගත් උත්සාහයේ යටි පෙළ කතාව බිහිසුණුය. සැලසුම් ගහණය.

මෛත්‍රිපාල සිරිසේන මහතා ඝාතනයට අමතරව කරුණා අම්මාන් මරා දැමීම සහ වැලිකන්දේ පිහිටි කරුණාගේ කඳවුරකට ප්‍රහාර එල්ල කිරීම ප්‍රේමසිරි සහ ජෙනීවන් වෙත භාරවී තිබූ ප්‍රධාන ප්‍රහාරයන් විය.

මෙම ප්‍රහාරයන් සඳහා ජෙනීවන් කිලිනොච්චියේ කඳවුරකදී විශේෂ අවි පුහුණුවක්‌ ද ලබා ගත්තේය.

ප්‍රහාරය සඳහා අවස්‌ථා දෙකකදීම පොළොන්නරුවට පැමිණ ඔත්තු බැලීමට ද ජෙනීවන් කටයුතු කළේය. ප්‍රහාරය සඳහා පොළොන්නරුව නගරයේ පුහුණුවීමක්‌ද කළේය.

මෛත්‍රිපාල සිරිසේන මහතා ඝාතන සැලසුමට සොයිසා නමැති සිංහල ජාතිකයකු සම්බන්ධ වී සිටියේය. ඔහු මෛත්‍රිපාල සිරිසේන මහතාට ලැදි පුද්ගලයකු විය. ප්‍රහාරක සැලසුම පිළිබඳව තොරතුරු සොයිසා මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබා දුන්නේය.

මෙම ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරුවන් වූ ශිවරාජා ජෙනීවන් සහ සොයිසා විසින් රහස්‌ පොලිසිය වෙත ලබාදී තිබූ පාපොච්චාරණ අනුසාරයෙන් සකස්‌ කළ කොටස මෙවර දිගහැරෙයි.

පොළොන්නරුව කදුරුවෙල මංසන්ධියේදී තමන් ඝාතනය කිරීමට එල්. ටී.ටී.ඊ. සංවිධානය සැලසුම් කරගෙන සිටින බවට ලැබුණු තොරතුරෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා දැඩි කම්පනයට පත්ව සිටියේය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය තමන් කෙරෙහි දැඩි වෛරයකින් පසුවන බව මෛත්‍රිපාල සිරිසේන මහතා හොඳාකාරවම දැන සිටියේය. කොටි සංවිධානයෙන් වෙන්ව සිටි කරුණා පාර්ශ්වයට සහාය දැක්‌වීම ඒ වෛරයට ප්‍රධානම හේතුව විය.

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නම කොටි ත්‍රස්‌තවාදී ඝාතන ලැයිස්‌තුවේ ඉහළින්ම සඳහන්ව තිබුණේ කරුණා පාර්ශ්වය ශක්‌තිමත් කිරීමට දැක්‌වූ සහාය නිසාමය.

සොයිසා තමන් වෙත ලබාදුන් ඔත්තුව පිළිබඳව ඇමැතිවරයා දිගින් දිගටම කල්පනා කරන්නට වුණේය. සොයිසා කරන ප්‍රකාශ පිළිගත නොහැකි බව රහස්‌ පොලිසියේ නිලධාරීහු ඒ වන විට තහවුරු කර සිටියහ. මෙය පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතු තරමේ තොරතුරක්‌ නොවන බවද රහස්‌ පොලිසියේ නිලධාරීන්ගේ නිගමනය වී තිබුණේය.

එහෙත් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සිත දෙගිඩියාවෙන්ය. සොයිසා ලබාදුන් තොරතුරු පිටුපස කිසියම් අබිරහසක්‌ සැඟවී තිබෙන බව මෛත්‍රිපාල මහතාගේ සිත නැවත නැවතත් කියන්නට වුණේය.

එකල ඇමැතිවරයාගේ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරියාව සිටියේ සහකාර පොලිස්‌ අධිකාරි ආනන්ද ලියනපතිරණය. (හදිසි අනතුරක්‌ නිසා පසු කලෙක ආනන්ද ලියනපතිරණ අභාවප්‍රාප්ත විය) වසර ගණනක්‌ තිස්‌සේ සෙවණැල්ලක්‌ මෙන් මෛත්‍රිපාල සිරිසේන ඇමැතිවරයා පසුපස සිටි ආනන්ද ලියනපතිරණ අවස්‌ථා කීපයකදීම ඇමැතිවරයාගේ ජීවිතය බේරා ගත්තේය.

ආරක්‍ෂාව සම්බන්ධයෙන් දැඩි ගැටලුවකට මැදිවී සිටින ඕනෑම අවස්‌ථාවකදී ලියනපතිරණ ඒ සියලු ගැටලු නිරාකරණය කර දුන්නේය. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ විශ්වාසවන්තම ආරක්‍ෂක නිලධාරියා බවට පත්වීමේ අවස්‌ථාව ලියනපතිරණට ලැබී තිබිණි.

සොයිසා ලබාදුන් තොරතුරෙන් මහත් කැළඹීමට පත්ව සිටි මෛත්‍රිපාල මහතා ආනන්ද ලියනපතිරණ කැඳවා මේ පිළිබඳව සාකච්ඡා කරන්නට වුණේය.

“මම ලොකු අමාරුවක වැටිලා ඉන්නෙ. මොකක්‌ද කරන්නෙ කියලා එක පාරටම හිතාගන්න අමාරුයි. සී.අයි.ඩී. එක කියනවා සොයිසා කියන්නෙ පට්‌ටපල් බොරුවක්‌ කියලා. ඒත් මට සොයිසා ගැන පොඩි විශ්වාසයක්‌ තියෙනවා. සොයිසා කියන කතාවෙ මොකක්‌ හරි ඇත්තක්‌ තියෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ ගැන හොයන්න ඕනෙ. සී.අයි.ඩී. එකවත් පොලිසියවත් මේකට සම්බන්ධ කරගන්න අවශ්‍ය නැහැ. මට මේ කතාවෙ ඇත්ත නැත්ත හොයාගන්න ඕනෙ…”

සොයිසා කියන කතාවේ ඇත්ත නැත්ත සොයන්නට මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය ලියන පතිරණද අනුමත කළේය.

හැබැයි අපි කෝකටත් සූදානමින් ඉන්න ඕනෙ. සොයිසා බොරුවක්‌ කළොත් අපේ ජීවිත අනතුරේ. ඒ නිසා අපි බොහොම සැලසුම්සහගතව මේ වැඩේ කරන්න ඕනේ.

දේශපාලනඥයන් පිළිබඳව පමණක්‌ නොව සාමාන්‍ය සමාජයේ සිටින විවිධ පුද්ගලයන්ගේ හැසිරීමෙන් මෙන්ම ඔවුන්ගේ ක්‍රියාකලාප පිළිබඳව තේරුම් ගැනීමේ මහා හැකියාවක්‌ මෛත්‍රිපාල සිරිසේන මහතා සතුවිය. සොයිසා කරන ප්‍රකාශ එක්‌වරම බැහැර නොකර ඒ පිළිබඳව සොයා බලන්නට ඇමැතිවරයා සූදානම් වුණේ ඔහුගේ හැසිරීම පිළිබඳව මතුවූ සැකය නිසාය.

මෛත්‍රිපාල මහතා හමුවී ප්‍රහාරක සැලසුම පිළිබඳව සියලු තොරතුරු ලබාදුන් සොයිසා අප්‍රේල් 23 වැනිදාම රාත්‍රියේ ආපසු පොළොන්නරුවට ආවේය.

වැලිකන්ද ප්‍රාදේශීය සභාවට එක්‌සත් ජාතික පක්‍ෂයෙන් තරගකර පරාජයට පත්ව සිටි සොයිසාට ස්‌ථිර රැකියාවක්‌ තිබුණේ නැත. ඒ නිසාම ඔහු ගතකළේ තරමක දුෂ්කර ජීවිතයකි. ආර්ථික අගහිඟකම්වලින් පමණක්‌ නොව තවත් ගැටලු රැසකට මුහුණ දී සිටි සොයිසා කොටි ත්‍රස්‌තයන් සමඟ සම්බන්ධ වන්නේ ඔහු වෙනුවෙන් ලබාදීමට පොරොන්දු වූ විශාල මුදල් කන්දරාව කෙරෙහි ඇතිවූ තණ්‌හාව නිසාමය.

එහෙත් සොයිසා මෛත්‍රිපාල සිරිසේන මහතාට බෙහෙවින් ළෙන්ගතුය. ඇමැතිවරයාගේ දේශපාලන දර්ශනයට ඔහු ප්‍රිය කළේය. තමන්ට කොයි තරම් විශාල මුදලක්‌ ලබාදීමට එල්.ටී.ටී.ඊ. ය සූදානමින් සිටියද අවසානයේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජීවිතය බේරා ගන්නට සොයිසා ඉදිරිපත් වන්නේ ඒ මහතා තුළ තිබූ උතුම් ගුණාංග නිසාය.

තමන් ඝාතනය කිරීමට කොටි ත්‍රස්‌තයන් කර ඇති සැලසුම පිළිබඳ සියලු තොරතුරු ලබාගත් මෛත්‍රිපාල සිරිසේන මහතා ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ අරමුණෙන් පොළොන්නරුව බලා යන්නට සූදානම් වුණේය.

අපි මේ දැන්ම පොළොන්නරු යන්න ඕනෙ. මොකද අපිට ලොකු වැඩ කොටසක්‌ කරන්න තියෙනවා. මේ වැඩේ දෙකින් එකක්‌ විසඳ ගන්න ඕනෙ.

අපි කාටත් නොදැනෙන්න ලොකු ඔපරේෂන් එකක්‌ කරලා මේ එල්.ටී.ටී.ඊ. කාරයො ටික අල්ලගමු. අපේ සැලසුම සොයිසාටවත් දැනගන්න අවශ්‍ය නැහැ. මොකද මේ වැඩේ අවසන් වෙනකල් අපි සොයිසා ගැනත් සැකයෙන් බලන්න ඕනේ.

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සිතේ නොයෙකුත් සිතුවිලි හොල්මන් කරන්නට වුණේය. සොයිසා කිසියම් උපායක්‌ යොදාගෙන කොටි ත්‍රස්‌තවාදීන් සමඟ එක්‌ව තමන් ඝාතනය කිරීමට සැලසුම් කරන්නේ ද යන සැකය ඒ වන විට මතුව තිබුණේය.

තමන් වෙත එන අභියෝග ජයග්‍රහණ බවට හරවා ගැනීමේ හැකියාව මෙන්ම වාසනාව මෛත්‍රිපාල සිරිසේන මහතා සතුවිය. ඒ හැකියාව එදා මෙන්ම අදටත් වලංගුය.

2006 වර්ෂයේ අප්‍රේල් මස 23 වැනිදා රාත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ප්‍රධාන ආරක්‍ෂකයා වූ සහකාර පොලිස්‌ අධිකාරි ආනන්ද ලියනපතිරණ ද කැටිව කොළඹින් පිටත් වුණේය.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයාට දුරකථනයෙන් කතා කළ මෛත්‍රිපාල මහතා තම නිවසට පැමිණ සිටින ලෙසද දැනුම් දුන්නේය.

මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹින් පිටවී වැඩි වේලාවක්‌ ගත වන්නට පෙර සොයිසා දුරකථනයෙන් කතා කළේය.

සොයිසා අපි කොළඹින් පිටත් වුණා. රෑ වෙද්දී පොළොන්නරුවට එනවා. ඔයා මට හැම දෙයක්‌ම කියන්න ඕනෙ.

මෛත්‍රිපාල සිරිසේන මහතා සොයිසාට කීවේය. ඇමැතිවරයා පොළොන් නරුවට පැමිණෙන බව ඇසීමෙන් සොයිසා දැඩි ලෙස කලබලයට පත් වුණේය.

“අනේ බුදු සර් මම සර්ට ආදරේ නිසයි කියන්නෙ. පොළොන්නරුවෙ හතර මායිමටවත් එන්න එපා. හෙට උදේ සර්ව මරන්න හැම දෙයක්‌ම ලෑස්‌ති කරලා තියෙන්නෙ. මම මේ දැනුත් ඉන්නෙ එල්.ටී.ටී.ඊ.කාරයො එක්‌ක.”

උන් එහෙ මෙහෙ යනකල් ඉඳල මම ඔබතුමාට කෝල් කළේ. උන් සර්ව මරන එක ඒකාන්තයි.

සොයිසා මෛත්‍රිපාල සිරිසේන මහතාට දිගින් දිගටම ආයාචනා කරන්නට පටන් ගත්තේය.

අප්‍රේල් 24 වැනිදා උදැසන 9.00 පමණ පොළොන්නරුව කදුරුවෙල මංසන්ධියේදී මෛත්‍රිපාල සිරිසේන මහතා ගමන් ගන්නා මෝටර් රථයේ ක්‌ලේමෝ සවිකළ පාපැදියක්‌ හප්පා එය පුපුරුවා හැරීමට ප්‍රේමසිරි ජෙනීවන් ඇතුළු කොටි සාමාජිකයන් සියලු කටයුතු සූදානම් කරගෙන සිටියහ.

මේ සැලසුමේ එක්‌ පාර්ශ්වකරුවකු වූ සොයිසා මෛත්‍රිපාල මහතාගේ පොළොන්නරු ගමන වැළැක්‌වීමට දැඩි උත්සාහයක්‌ ගත්තේය.

“සොයිසා එල්.ටී.ටී.ඊ. කාරයන්ට මට ගහන්න ඇත්තටම වුවමනාවක්‌ තියනවද කියලා බලන්න ඕනෙ. ඒ නිසා මම මේ ගමන එනවා. ඒක වළක්‌වන්න හදන්න එපා. අපි බලමු මොකක්‌ද වෙන්නෙ කියලා. ඔයා මට උදව් කරන්න. ඔතන වෙන හැම තොරතුරක්‌ම මට දෙන්න. ඔයාගෙ සහයෝගය මේ වෙලාවේ මට බොහොම වටිනවා.”

පොළොන්නරුවේ සිටින කොටි නඩය අල්ලා ගැනීම සඳහා තමන් කළ සැලසුම පිළිබඳව කිසිවක්‌ හෙළි නොකළ මෛත්‍රිපාල සිරිසේන මහතා සොයිසාගේ සහාය ඉල්ලා සිටියේය.

2006 වර්ෂය වන විට කොටි ත්‍රස්‌තවාදීන් රටපුරා සිය දරුණු ප්‍රහාර එක දිගටම ක්‍රියාත්මක කර තිබුණේය. උතුරු නැෙ`ගනහිර පමණක්‌ නොව දකුණේ ජනතාවට මරණ බිය ඇති කිරීමට කොටි ත්‍රස්‌තයන් ක්‍රියාකර තිබිණි.

මේ කාල සීමාව වන විට මෛත්‍රිපාල සිරිසේන මහතාට දැඩි ආරක්‍ෂාවක්‌ ලබා දෙන්නට රජය කටයුතු කර තිබුණේය. ඒ වන විට රජයේ ප්‍රබලම දේශපාලනඥයන් කීප දෙනා අතර සිටි මෛත්‍රිපාල මහතා කොටි ත්‍රස්‌තයන්ගේ ප්‍රධානම ඉලක්‌කයක්‌ බවට පත්ව සිටියේය.

යුද හමුදා කොමාන්ඩෝ බළකායේ සෙබළුන්ද පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ ඇමැති ආරක්‍ෂක

අංශයේ නිලධාරීන් පමණක්‌ නොව මහවැලි අධිකාරියේ ආරක්‍ෂකයන් පවා මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරක්‍ෂාවට යොදවා සිටියහ.

පෙර ගමන් සහ පසු ගමන් රථ හයක්‌ යොදවා තිබූ අතර වෙඩි නොවදින මෝටර් රථයක්‌ද ඇමැතිවරයාගේ ආරක්‍ෂාවට ලබාදී තිබුණේය. ආරක්‍ෂක නිලධාරීන් දෙසීයකට ආසන්න පිරිසක්‌ ඒ වන විට ඇමැතිවරයාගේ ආර ක්‍ෂාවට අනුයුක්‌ත කර තිබුණේ එල්ල වී තිබූ දැඩි ජීවිත තර්ජනය නිසාමය.

මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු ආරක්‍ෂකයන් පොළොන්නරුවට එද්දී මධ්‍යම රාත්‍රිය ආසන්න වී තිබිණි. ඒ වන විට පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයාද නිවසට පැමිණ සිටියේය. පැය ගණනක ගමන් වෙහෙස නොතැකූ මෛත්‍රිපාල මහතා ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් සමග සාකච්ඡා කරන්නට පටන් ගත්තේය.

සොයිසා කියන විදිහට එල්.ටී.ටී.ඊ. කාරයො මට ගහන්න සූදානම් වෙලා ඉන්නෙ කදුරුවෙල හන්දියෙදී. ඒත් හරියටම එල්.ටී.ටී.ඊ. කාරයො එතනදීම මාව මරන්න සූදානම් වෙලා ඉන්නවද කියන්න බැහැ. සමහර විට මගේ ගේ ළඟදී ඒ ඇටෑක්‌ එක වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ හැම දේකටම සූදානම් වෙන්න ඕනෙ.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් හමුවේ කියා සිටියේය.

සිවිල් ඇඳුම් ඇඳගත්ත නිලධාරීන් යොදවලා අපි කදුරුවෙල හන්දිය වට කරන්න ඕනෙ. එල්.ටී.ටී.ඊ. කාරයන්ට නොතේරෙන විදිහට මේ වැඩේ වෙන්න ඕනෙ. අපි මේ මොහොතෙ ඉඳලම වැඩේ පටන් ගන්න ඕනෙ. එතකොට අපට හෙට උදේ කදුරුවෙල හන්දියේදී ඇටෑක්‌ එකට එන එල්.ටී.ටී.ඊ. කාරයො ටික අල්ලගන්න පුළුවන්.

මෛත්‍රිපාල සිරිසේන මහතා තම ප්‍රධාන ආරක්‍ෂක නිලධාරි ලියනපතිරණට අවශ්‍ය සියලු උපදෙස්‌ ලබා දුන්නේය. කදුරුවෙල හන්දියේ පමණක්‌ නොව පොළොන්නරුව නගරයේ හඳුනාගත් ස්‌ථාන කීපයකටම සිවිල් පොලිස්‌ නිලධාරීන් යෙදවීමට ආනන්ද ලියනපතිරණ කටයුතු කළේ ඇමැතිවරයාගෙන් ලැබුණු උපදෙස්‌ අනුවය.

ආරක්‍ෂක වළල්ල 23 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිටම ස්‌ථානගත කිරීමට කටයුතු කළ ලියනපතිරණ ඇමැතිවරයා සමීපයේ සිට සියලු කටයුතු නිරීක්‍ෂණය කරන්නට විය.

පොළොන්නරුව නගරය තුළ ඒ වන විට ක්‍රියාත්මක කර තිබෙන රහසිගත ආරක්‍ෂක මෙහෙයුම පිළිබඳ කිසිදු තොරතුරක්‌ සොයිසාට ලබා නොදීමට මෛත්‍රිපාල සිරිසේන මහතා වගබලා ගත්තේය.

24 වැනිදා පෙරවරුවේ වැලිකන්ද ප්‍රාදේශීය සභාව විවෘත කිරීමේ උත්සවයට තමන් පැමිණෙන බව දැනුම් දීමට ද මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කළේය.

සුපුරුදු කාලසටහන ඒ අයුරින්ම ක්‍රියාත්මක වුවද රහසිගත මෙහෙයුමක්‌ පොළොන්නරුව නගරය පුරා ඒ වන විට ක්‍රියාත්මකව තිබුණේය.

ඒ වන විට දැඩිලෙස විඩාවට පත්ව සිටියද මෛත්‍රිපාල මහතා නින්දට ගියේ නැත. මීළඟ තත්පරයේදී කළයුත්තේ කුමක්‌දැයි සිතන්නට වුණේය. ආරක්‍ෂක නිලධාරීන් සිය ගණනක්‌ සිටියද ඔවුන් කිසිවකුත් විශ්වාස කළ නොහැක. තමන් සමීපයේම සිටින ජුදාස්‌ කෙනකු විසින් තමන් පාවා දෙනු ඇතැයි යන සැකය බැහැර කළ නොහැකි විය. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සිත විවිධ සිතුවිලිවලින් හොල්මන් කරන්නට වුණේය.

වසර ගණනක්‌ තිස්‌සේ තම සෙවණැල්ල මෙන් සිටි ආනන්ද ලියනපතිරණ කැඳවූ මෛත්‍රිපාල මහතා ඔහු සමඟ රහසිගත සාකච්ඡාවක්‌ පටන් ගත්තේය.

මට මෙතන ඉන්න සමහර මිනිස්‌සු විශ්වාස නැහැ. අපි දෙන්න එකතු වෙලා මේ වැඩේ සැලසුම් කරන්න ඕනෙ. මට ලොකු විශ්වාසයක්‌ තියෙනවා එල්.ටී.ටී.ඊ. කාරයො හෙට මට ගහයි කියලා. ඒ නිසා මම පොඩි උප්පරවැට්‌ටියක්‌ දානවා. ඒකෙන් මමත් ආරක්‍ෂා වෙලා එල්.ටී.ටී.ඊ. කාරයොත් අල්ලගන්න පුළුවන්. හැබැයි මේ වැඩේ අනතුරුදායක තත්ත්වයකුත් තියෙනවා.

මෛත්‍රිපාල සිරිසේන මහතා තමන් කළ රහසිගත සැලසුම පිළිබඳව සියලු විස්‌තර ආනන්ද ලියනපතිරණට පැහැදිලි කර දුන්නේය.

”අපට මේ වැඩේට ප්‍රයිවට්‌ වාහනයක්‌ ඕනෙ කරලා තියෙනවා. මම ඩඩ්ලි මල්ලිට කියලා වාහනයක්‌ ගෙන්න ගන්නම්” මේ හැම දෙයක්‌ම රහසක්‌ හැටියට තියා ගන්න ඕනෙ. මෙතන කිසිම කෙනෙක්‌ මේ සැලසුම දැන ගන්න බැහැ.

රහසිගත සැලසුම සඳහා අවශ්‍ය කරන මෝටර් රථය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරා වන ඩඩ්ලි සිරිසේන මහතාට කතා කර ගෙන්වා ගැනීමට සැලසුම් කෙරිණි. අප්‍රේල් මස 23 වැනිදා මධ්‍යම රාත්‍රිය වන විට සියලු සැලසුම් සූදානම් කර තිබුණේය. එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන් 24 වැනිදා උදැසන පොළොන්නරුව කදුරුවෙල මංසන්ධියේදී තමන්ට එල්ල කිරීමට සූදානම් කර ඇති ප්‍රහාරය සඳහා මුහුණ දීමේ අභියෝගය ජය ගැනීමට මෛත්‍රිපාල සිරිසේන මහතා සූදානම්ව සිටියේය.

ප්‍රහාරය සඳහා පැමිණි කොටි නඩය අල්ලා ගැනීම සඳහා මෛත්‍රිපාල සිරිසේන මහතා ක්‍රියාත්මක කළ මෙහෙයුම ලබන සතියේ කොටසින් බලාපොරොත්තු වන්න.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close