Breaking News
Home / Gossip / ආසියානු කුසලාන ක්‍රිකට්‌ නොමැකෙන මතක

ආසියානු කුසලාන ක්‍රිකට්‌ නොමැකෙන මතක

ආසියානු කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය යනු අපට සුන්දර මතක සටහන් රාශියක්‌ එක්‌වී ඇති තරගාවලියකි. 1984 වසරේ ආරම්භ වී තිබෙන ආසියානු කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේදී ශ්‍රී ලංකාව පස්‌වතාවක්‌ ආසියානු ශූරයන් ලෙස අභිෂේක ලබා සිටියි. ඉන්දියාවද ශ්‍රී ලංකාවේ පරිදිම පස්‌වතාවක්‌ ආසියානු ශූරතාව දිනාගෙන තිබෙන අතර පාකිස්‌තානය දෙවතාවකදී පමණක්‌ ශූරතාව දිනාගෙන තිබේ.

ආසියානු කුසලාන තරගාවලි ඉතිහාසයේ මෙතෙක්‌ පවත්වා ඇති තරගාවලි 12 ම පන්දුවාර 50 තරගාවලි වශයෙන් පැවැත්වුණද මෙවර තරගාවලිය විස්‌සයි/20 තරගාවලියක්‌ ලෙසින් පැවැත්වීම සුවිශේෂී වනු ඇත. විස්‌සයි/20 ලෝක කුසලාන තරගාවලිය ලබන මාර්තු මසදී පැවැත්වෙන හෙයින් ඒ සඳහා පෙර සූදානමක්‌ ලෙස මෙවර ආසියානු කුසලාන තරගාවලිය යොදා ගැනීමට ආසියානු ක්‍රිකට්‌ බලධාරීන්ගේ තීරණය වී තිබේ. කෙසේ වෙතත් මින් ඉදිරියට පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලිය පන්දුවාර 50 තරගාවලියක්‌ද එසේත් නැතහොත් විස්‌සයි/20 තරගාවලියක්‌ද යන්නතීරණය වන්නේ එම තරගාවලියට ආසන්නතම පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ ස්‌වභාවය අනුවය.

ආසියානු කුසලාන තරග ඉතිහාසයේදී තරගාවලිය නියෝජනය කරන ලද රටවල් සමස්‌ථයක්‌ ගෙන බැලීමේදී වැඩි ජයග්‍රහණ සංඛ්‍යාවක්‌ වාර්තා කරමින් වැඩි ගෞරව අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වී සිටියි. ශ්‍රී ලංකාව 1984 වසරේ සිට මේ දක්‌වා ආසියානු කුසලාන තරග 48 කට ක්‍රීඩා කොට තිබෙන අතර ඉන් තරග 34 ක්‌ ජය ගැනීමට සමත්ව සිටියි. පරාජයන් 14 ක්‌ පමණක්‌ ශ්‍රී ලංකාව ඉදිරියේ සටහන් වද්දී ජයග්‍රාහී ප්‍රථිශතය 70% හැත්තෑවකට ආසන්න අගයක්‌ ගෙන තිබේ. ශ්‍රී ලංකාවට පසු වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක්‌ වාර්තා කිරීමට සමත්ව ඇති රට වන්නේ ඉන්දියාව වුවත්, ජයග්‍රාහී ප්‍රථිශතය ගෙන බැලීමේදී ඉන්දියාවට වඩා පාකිස්‌තානය ඉදිරියෙන් පසුවීම සුවිශේෂී වෙයි. ඉන්දියාව අවස්‌ථා 26 කදී ජයග්‍රහණ වාර්තා කරගෙන තිබෙන අතර පාකිස්‌තානය අවස්‌ථා 24 කදී ජයගෙන තිබේ.

කණ්‌ඩායම් ලෙස බැලීමේදී ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවනවා සේම ක්‍රීඩක දක්‌ෂතා ගෙන බැලීමේදීද එහි ඉදිරියෙන්ම සිටින්නේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකි. හිටපු ආරම්භක පිතිකරු සනත් ජයසූරිය ආසියානු කුසලාන තරගාවලිය තමන්ගේ තරගාවලියක්‌ බවට පත් කරගනිමින් සුවිශේෂී මතක සටහන් ගොන්නකටම හිමිකම් කීමට සමත්ව ඇති ක්‍රීඩකයාය. ජයසූරියගේ පිත්තෙන් වාර්තා වී ඇති ශතක සංඛ්‍යාව 6 ක්‌ වන අතර එය පිතිකරුවකු ආසියානු කුසලාන තරගාවලියකදී වාර්තා කර ඇති වැඩිම ශතක සංඛ්‍යාව වේ. එම ශතක අතර සුවිශේෂීතම ශතකයක්‌ වන්නේ 2008 වසරේ පාකිස්‌තානයේ කරච්චිහි පැවැති අවසන් මහ තරගයේදී ලබාගන්නා ලද ශතකය වේ. ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ඉදිරි පෙළ කඩුලු 4 ක්‌ම අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගොස්‌ වැඩි පීඩන තත්ත්වයකට පත්ව සිටියදී ජයසූරිය විසින් රැස්‌ කරන ලද ලකුණු 125 ක ඉනිම එම තරගය නැරඹූ කිසිදු ප්‍රේක්‌ෂකයකුගේ මතකයෙන් ගිලිහී නොයනවා නොඅනුමානය.

ඒ වන විටත් 39 වැනි වියේ පසුවුණු සනත් ජයසූරිය ශතකය වාර්තා කිරීමත් සමගම ලොව ශතකයක්‌ වාර්තා කරන ලද වයස්‌ගතම ක්‍රීඩකයාගේ ලෝක වාර්තාවටද හිමිකම් කීමේ අවස්‌ථාව ඔහුට උදාවිය.

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ඉෂාන්ට්‌ ෂර්මා විසින් ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලු 4 ම දවාගැනීමට සමත්වද්දී තරගයේ වැඩි වාසි ඉන්දීය පිල දෙසට යොමුවිය. එහෙත් පවුරක්‌ සේ නොසැලෙමින් සිය වසර 20 කට අධික ක්‍රීඩා දිවියේ ලබා තිබෙන අත්දැකීම් සම්භාරය මැනවින් ප්‍රයෝජනයට ගත් ජයසූරිය ලකුණු 125 ක්‌ ලබා ගනිමින් කඩා වැටී තිබූ ශ්‍රී ලංකා පිල යළි ඔසවා තැබීමට සමත්වූවේය. හයේ පහර 5 ක්‌ සහ හතරේ පහර 9 ක්‌ අන්තර්ගත වූ ජයසූරියගේ එම වටිනා ඉනිමට හෙතෙම පන්දු 114 කට පමණක්‌ මුහුණ දුන්නේය. ලකුණු 66 කට මුල් කඩුලු 4 ක්‌ දැවී ගොස්‌ අසීරු තත්ත්වයේ පසුවූ ශ්‍රී ලංකා පිලේ ලකුණු පුවරුව ජයසූරියගේ සුවිශේෂී ඉනිම නිසා ලකුණු 273 ක්‌ වශයෙන් සටහන් විය.

එම තරගයේ පිතිකර දක්‌ෂතාව එසේ සටහන් වද්දී තරගයේ දෙවැනි භාගය හෙවත් ඉන්දීය ඉනිම ක්‍රියාත්මක වීමේදී පළමු භාගයට නොදැවෙනි ආශ්වාදයක්‌ ලබා ගැනීමට ශ්‍රී ලාංකික ප්‍රේක්‍ෂකයන්ට අවස්‌ථාව උදාවිය.

ශ්‍රී ලංකා පන්දු යෑවීමේ අංශයේ පතාක යෝධයින් වන චමින්ද වාස්‌, මුත්තයියා මුරලිදරන් මෙන්ම නුවන් කුලසේකරද යන අයද ශ්‍රී ලංකා කණ්‌ඩායම සතු වුවද එම සංදර්ශනයේ මූලිකයා වූයේ දග පන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස්‌ය. ආසියානු කුසලාන තරගාවලිය වන විට මෙන්ඩිස්‌ යනු එතරම් නම් දරා සිටි පන්දු යවන්නකු නොවූ නමුත්, එම තරගයෙන් පසු ලොව පන්දු යවන්නන් අතර වැඩිම අවධානයක්‌ යොමු වුණු පන්දු යවන්නා බවට මෙන්ඩිස්‌ පත්විය. ලෝකයේ සෙසු රටවල් කෙසේ වෙතත් ඉන්දීය කණ්‌ඩායමට මෙන්ඩිස්‌ගේ පන්දු යෑවීම භීතිකාවක්‌ බවටම පත්විය.

පිතිකරුවන්ට පාරාදීසයක්‌ බඳු කරච්චි තණතීරුවේදී ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලෙස ගාම්බීර්ව ලකුණු 36 දී දවා ගැනීමට වාස්‌ සමත්වුවද සෙසු ආරම්භක පිතිකරුවා වූ විරේන්ද්‍ර ෂෙවැග් ඔහුට සුපුරුදු ප්‍රවේගකාරී පිතිහරඹය දියත් කරමින් ඉන්දීය ලකුණු පුවරුව ඉහළ දැමීය. පන්දු 36 කදී ලකුණු 60 ක්‌ වාර්තා කරගත් ෂෙවැග්ව නවාලීමට නම් දැරා සිටින කිසිදු ශ්‍රී ලංකා පන්දු යවන්නකුට නොහැකිවිය.

ෂෙවැග්කේ ප්‍රහාරය හමුවේ නිරුත්තරව සිටි ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන කණ්‌ඩායමේ සිටින නවක ක්‍රීඩකයා වූ මෙන්ඩිස්‌ට පන්දුව භාර දෙන විට ඔහුගේ පන්දු යෑවීම සංදර්ශනයක්‌ බඳු වේ යෑයි කිසි විටෙකවත් නොසිතන්නට ඇත. සිදුවූයේ අනෙනකකි. 10 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවෙන්ම ෂෙවැග්ව ස්‌ටම්ප් කිරීමකට හසුව දවා ගැනීමට මෙන්ඩිස්‌ සමත්විය. ඒ වන විටත් ලකුණු පුවරුව ලකුණු 76 ක්‌ ලෙස සටහන් වී තිබූ අතර ෂෙවැග් දැවී යැමත් සමග මෙන්ඩිස්‌ගේ කඩුලු දඩයම ආරම්භ විය. ඉන්දීය කණ්‌ඩායමේ නායක මහේන්න්ද්‍ර සිං දෝනි හැරෙන්නට ක්‍රීඩාංගණයට පැමිණි පිතිකරුවන් අතර ක්‍රීඩාංගණය තුළට පැමිණෙනවාට වඩා ඉක්‌මනින් නැවත ක්‍රීඩා ගාරය වෙත හරවා යෑවීමට මෙන්ඩිස්‌ සමත්විය. විරේන්ද්‍ර ෂෙවැග්, සුරේෂ් රයිනා, යුවරාඡ් සිං, රෝහිත් ෂර්මා, ආර්. පී. සිං සහ ඉර්µdන් පතන් මෙන්ඩිස්‌ගේ ගොදුරු බවට පත්වූ පිතිකරුවන් බවට පත්වූහ. අවසානයේ පන්දුවාර 39 කුත් පන්දු 3 කදී ඉන්දීය ඉනිම නිමා වන විට ලකුණු 173 ක්‌ පමණක්‌ ලබා සිටියේය.

අවසානයේ මෙන්ඩිස්‌ගේ පන්දු යෑවීම පන්දුවාර 8 කදී එක්‌ නිලකුණු පන්දුවාරයක්‌ සමග ලකුණු 13 කට කඩුලු 6 ක්‌ වශයෙන් සටහන් විය.

මෙම තරගයේදී සනත් ජයසූරියගේ පිත්තට වඩා, පිතිකරුවන්ට සහාය දක්‌වන ලද කරච්චි තණතීරුවේදී මෙන්ඩිස්‌ විසින් පන්දු වැඩි පෙළහැරක්‌ පෑම හේතුවෙන් එම ජයග්‍රහණයේ වැඩි ගෞරව මෙන්ඩිස්‌ට හිමිවිය. මෙන්ඩිස්‌ගේ දක්‍ෂතාවය කොතෙක්‌ද යත් එම තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා සම්මාන යන ද්විත්වයෙන්ම හෙතෙම නම් කිරීමට තරග සංවිධායකයෝ කටයුතු යෙදූහ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close