Breaking News
Home / Gossip / ආච්චිට හාල් ගැරූ මුනුපුරා

ආච්චිට හාල් ගැරූ මුනුපුරා

දේශපාලන බලය ඇත්නම් ඕනෑම නීති විරෝධී කටයුත්තක් නීත්‍යනුකූලව කරනා හැටි ඉතිහාසය පුරාම අපගේ දේශපාලනඥයන් අපට පෙන්වා දී ඇත. ඔවුන්ගේ අන්වීක්ෂයට පෙනෙන නීතියේ සිදුරු සාමාන්‍ය ජනතාව වන අපට පෙනෙන්නේ නැත.

එහෙයින් ඒවා විනිවිද යාමට තරම් වූ හැකියාවක් නැතිවා සේම, අපට දේශනා කර ඇත්තේ ද නීතිගරුකව කටයුතු කරන ලෙසය. එබැවින් සාමාන්‍ය ජනතාව වන අප වැරැදි නම් වැරැදිකරුය, නිවැරැදිනම් නිවැරැදිකරුය. තීන්දුව ලැබෙන්නේ අධිකරණයෙනි. දේශපාලන බලය ඇත්නම් නිවැරැදි අප වැරැදිකරුවන් කරන්නටත් වැරැදි කළවුන් නිදොස්කොට නිදහස් කරන්නටත් හැකි බව ඉකුත් වසර දහය තුළින් පමණක් ලද අත්දැකීම් ප‍්‍රමාණවත්ය. ඉඩම් අත්පත් කරගන්නටත් ඉඩම් නිදහස් කරදෙන්නටත් දේශපාලන බලය පරම අවියක් වූයේය. දේශපාලන ආධිපත්‍යය විසින් නීතියේ ආධිපත්‍යය යටපත් කර දැමුවේය. අවශ්‍ය නම් හීලෑ කරගත්තේය. සියල්ල ප‍්‍රශ්න කෙරෙන්නේ බලය ගිලිහී ගිය දාය. බලයට භීතියෙන් වැසූ සියලූ දොරටු බලය ගිලිහී ගිය දා පුපුරා යන්නේය.

ඉකුත් සමයේ ගල්කිස්සේ සුපිරි නිවසක් සහ ඉඩමක් අත්පත්කර ගැනීම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතා FCIDයට කැඳවනු ලැබීය. ඒ මොහොතේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ මහතාත් මාධ්‍යවලට කීවේ ගල්කිස්ස ඉඩමට අදාළ ගනුදෙනුව තම පරම්පරාවට අයිති බූදලයක් සම්බන්ධයෙන් වූ අතිශය පෞද්ගලික ගනුදෙනුවක් බවයි. එම ගනුදෙනුව පදනම් කරගෙන ආණ්ඩුව රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගෙන් පළිගැනීම සඳහා උපක‍්‍රම ගොතන බව ද ඔවුහු කීවෝය. නමුදු සත්‍යය එය නොවේ. ආච්චි අම්මාගෙන් ලැබුණා යයි කියන ඉඩම වටේ තිබූ ඉඩම් යෝෂිත ඔහුගේ ඔප්පුවට පවරා ගෙන තිබූ ක‍්‍රමවේදය බලහත්කාරී ලෙස සහ නීතිය අයුතු ලෙස යොදා ගනිමින් සිදු කළ ගනුදෙනුවක් බව දැන් පසක් වී හමාරය.

මේ ජුගුප්සාජනක කි‍්‍රයාව සඳහා දඩමීමා කරගෙන තිබුණේ ඩේසි ෆීරියස් වික‍්‍රමසිංහ නමැති වයෝවෘද්ධ කාන්තාවකි. මුනුබුරා කළ අලූගුත්තේරු කි‍්‍රයාව හේතුවෙන් මේ වයස්ගත කාන්තාවට උසාවි ගාණේ බඩගාන්නට සිදු වූයේය. යෝෂිත තම දේශපාලන බලය අනීතික ලෙස යොදවමින් කළ නිහීන කි‍්‍රයාව හේතුවෙන් අධිකරණයේ දී ඇය කඳුළු සැලූවේය. මේ විපර්යාසයට තුඩු දුන් ගල්කිස්සේ ඉඩම අත්පත් කරගැනීම සම්බන්ධයෙන් වූ රහස දැන් ඔබට කියමි.

 

ගල්කිස්ස ඉඩම

ශිරන්ති රාජපක්ෂ මහත්මියට අයත් මෙම පාරම්පරික දේපළ ගල්කිස්සේ මිහිඳු මාවතෙහි පිහිටා තිබේ. එකී දේපළට ශිරන්ති රාජපක්ෂ මහත්මිය සතු අයිතිය වර්ෂ 2015.10.12 වන දින වීරමන් නමැති ප‍්‍රසිද්ධ නොතාරිස්වරයකු සහතික කරන ලද 3221 දරන ඔප්පුව මඟින් යෝෂිත රාජපක්ෂ මහතාට පවරා දී ඇත. නමුත් රාජපක්ෂවරුන්ගේ කීර්ති නාමය තහවුරු කිරීමට ප‍්‍රමාණවත් නැති මෙම ඉඩම, විශාල කරගැනීම සඳහා යෝෂිත රාජපක්ෂ මහතාට සහ එම පවුලේ අනෙක් අයට අවශ්‍යව පැවති බව පෙනී යයි. ඒ අනුව කුප‍්‍රකට අනීතික කි‍්‍රයාව තම බලය යොදා ගනිමින් සිදු කර ඇති බවත් ඒ සඳහා තම මවගේ මුල් ඉඩම අසල පිහිටි ඉඩම් හොඳින් හෝ නරකින් මුල් ඉඩමට බද්ධ කිරීමට තම බලය සහ මුදල් යෝෂිත රාජපක්ෂ මහතා යොදා ඇති බවත් මෙකී ගනුදෙනුව හොඳින් විශ්ලේෂණය කරන කල පෙනී යන්නේය. මේ කටයුත්ත සඳහා මුල් ඉඩම අවට පිහිටි පෞද්ගලික ඉඩම් අයිතිකරුවන්ට හිමිව තිබූ පර්චස් 12.4ක්, පර්චස් 10ක්, පර්චස් 02.6ක් සහ දෙහිවල ගල්කිස්ස සමුපකාරයට හිමි පර්චස් 05ක ඉඩම් මේ අනීතික පවරා ගැනීමේ කි‍්‍රයාවලියට යටත් වූයේය.

ඉහත සඳහන් පර්චස් 27.1ක් වූ ඉඩම් සඳහා වර්ෂ 1995 පහත සඳහන් පර්ශ්වකරුවන් අතර ගල්කිස්ස දිසා අධිකරණයේ අංක 147/95/පී යටතේ බෙදුම් නඩුවක් පැවැතියේය. එම ඉඩම් නඩුවේ පාර්ශ්වකරුවන් වූයේ,ස්ටීවන් ප‍්‍රනාන්දු, අයිරින් ද සිල්වා, සිරිල් ප‍්‍රනාන්දු, හේමලතා රණවීර, මේබල් සුරවීර, පැට්ටි‍්‍රක් ප‍්‍රනාන්දු, ඇසලින් ප‍්‍රනාන්දු, ඇඞ්මින් ප‍්‍රනාන්දු, වයලට් ප‍්‍රනාන්දු යන අයයි.

මෙකී අය අතර ඇතැම් අය අදාළ ඉඩම්වලට හිමිකම් ඔප්පු පවතින පුද්ගලයන් වූ අතර ඇතැම් අය එම ඉඩම්වල හුදු භුක්තිකරුවන් පමණක් වූහ.
නීතිය වන වැදී

රටේ බලපවත්නා බෙදුම් නීතිය අනුව යම් ඉඩමක් බෙදීම සඳහා ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ ලිස්පෙන්ඩනය නමැති කරුණක් ලියාපදිංචි කරන අතර ඉන්පසුව එකී බෙදීමට යෝජිත ඉඩමේ අයිතිවාසිකම් නඩුවේ අවසාන තීන්දුවෙන් විනා වෙනත් ආකාරයකින් තුන් වන පාර්ශ්වයකට පැවරිය නොහැකි බව නීතියෙන් පිළිගත් කරුණකි. යම් හෙයකින් එවැනි තත්ත්වයක් වුවහොත් එකී සියලූ පැවරීම් නීත්‍යනුකූල නොවන පැවරීම් ලෙස සැලකීමට ද අධිකරණය කටයුතු කර ඇත.

යෝෂිත රාජපක්ෂ මහතා නීතිය අපහරණය කළ හැටි

ඉහත සඳහන් බෙදුම් නඩුවේ නම් සඳහන් සියලූ පාර්ශ්වකරුවන් සමඟ ඬේසි ෆීරියස් වික‍්‍රමසිංහ පහත සඳහන් විකිණීමට එකඟ වීමේ ගිවිසුමට එළඹ ඇත. එකී විකිණීමට එකඟ ගිවිසුම් ඉහත සඳහන් වීරමන් ප‍්‍රසිද්ධ නොතාරිස්වරයා විසින් සහතික කර ඇති අතර එකී විකිණීමට එකඟ වූ ගිවිසුම් වන්නේ, අංක 3084, අංක 3085, අංක 3086, අංක 3087, අංක 3088, අංක 3089, අංක 3090, අංක 3091 හා අංක 3092 යන ඒවාය.

ඉන් අනතුරුව මුලින් සඳහන් කළ පර්චස් 12.4, පර්චස් 10 සහ පර්චස් 2.6ක් වන ඉඩම් සඳහා වීරමන් ප‍්‍රසිද්ධ නොතාරිස්වරයා විසින් වර්ෂ 2013.05.03 දින සහතික කරන ලද අංක 3093 බෙදුම් ඔප්පුවක් සකස් කර ඇත. මෙය ද ශ‍්‍රී ලංකාවේ මෙලෙස ප‍්‍රථම වරට සිදු වූ සුවිශේෂී නෛතික කි‍්‍රයාවකි. එකී බෙදුම් ඔප්පුව යටතේ ඉහත සඳහන් 147/95/පී නඩුවේ පාර්ශ්වකරුවන් අතර බෙදුම් නඩුවෙන් අවසානයේ දී හිමි වන දේපළ අයිතිවාසිකම් පිළිබඳ එකඟතාවක් මෙමඟින් පාර්ශ්වකරුවන් අතර සම්මත කරගෙන ඇත. අනතුරුව එම නඩුවේ අතුරු තීන්දුවට එරෙහිව නඩුවේ පාර්ශ්වකරුවන් කොටසක් විසින් අභියාචනාධිකරණය ඉදිරියේ සීඒ/938/97එෆ් යටතේ අභියාචනා නඩුවක් පවරා එම නඩුවේ දී ඉහත කී බෙදුම් ඔප්පුව මත ඇති කරගත් එකඟතා මත පාර්ශ්වකරුවන් අතර අධිකරණමය සමථයක් ඇති කරගෙන තිබුණි. අනතුරුව නඩුවේ පාර්ශ්ව හට ඬේසි ෆීරියස් වික‍්‍රමසිංහ විසින් පහත අගයක් ගන්නා වූ මුදල් ප‍්‍රතිශ්ඨාවක් ලෙස ගෙවා ඔප්පු හතරක් මඟින් පාර්ශ්වකරුවන්ගේ ඉඩම් අයිතිය තමන් වෙත පවරාගෙන තිබුණි. එකී විකුණුම් ඔප්පු වන්නේ ඉහත කී වීරමන් ප‍්‍රසිද්ධ නොතාරිස්වරයා විසින් සහතික කරන ලද අංක 3107, අංක 3108 හා අංක 3109 දරන ඔප්පු හා එම නොතාරිස්වරයාම වර්ෂ 2013.08.29 සහතික කරන ලද 3158 දරන ඔප්පුව වේ. ඒ අනුව පහත සඳහන් ලෙස රුපියල් ලක්ෂ 495.2ක මුදලක් පාර්ශ්වකරුවන් හට ඬේසි ෆීරියස් වික‍්‍රමසිංහ මැතිණිය ගෙවා ඇත.

1. ස්ටීවන් ප‍්‍රනාන්දු – ලක්ෂ 75
2. අයිරින් ද සිල්වා – ලක්ෂ 35.4
3. සිරිල් ප‍්‍රනාන්දු – ලක්ෂ 70
4. හේමලතා රණවීර – ලක්ෂ 60
5. මේබල් සුරවීර – ලක්ෂ 33.4
6. පැට්ටි‍්‍රක් ප‍්‍රනාන්දු – ලක්ෂ 70
7. ඇසලින් ප‍්‍රනාන්දු – ලක්ෂ 25
8. ඇඞ්මින් ප‍්‍රනාන්දු – ලක්ෂ 15
9. වයලට් ප‍්‍රනාන්දු – ලක්ෂ 33.4

ගනුදෙනුවෙන් අනතුරුව ඉහත කී පාර්ශ්වකරුවන් අතරින් හිමිකම් අයිතිවාසිකම් නොමැති නමුත් භුක්තියේ සිටි ඇතැම් පාර්ශ්වකරුවන් ලවා අයිතිය අත්හැරීමේ ඔප්පුවක් ඉහත කී වීරමන් නොතාරිස්වරයා ලවාම වර්ෂ 2013.03.06 වන දින සහතික කර අංක 3106 යටතේ ලියාපදිංචි කර ඇත.

මේ පෙන්වා දුන්නේ රාජපක්ෂවරු රටේ ඉඩම් නීතියට තම බලය යොදවා නීතියේ කාර්ය පටිපාටිය ද යුක්තිය පසිඳලීමේ ආයතන ද දේපළ අයිතිවාසිකම් දරන පුද්ගලයන්ගේ දේපළ දැරීමට ඇති අයිතියට ද බලපෑම් සිදු කළ ආකාරයයි. ඔවුන් ඇතැම් අවස්ථාවක දී තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථවලට එරෙහි වන පුද්ගලයන් මරා දැමීමට පවා පෙලඹී ඇත. තාජුඞීන් නඩුව තුළින් පෙන්නුම් කරන්නේ ඔවුන් රටේ අපරාධ නීතිය සහ පොලීසිය, අධිකරණ වෛද්‍ය ක්ෂේත‍්‍රය තම අණසකට ගනිමන් සිය අභිමතාර්ථ ඉෂ්ට කරගත් ආකාරයයි.

සීඑස්එන් නඩුව තුළින් පෙන්වන්නේ තමන් විසින් අනීතිකව උපයාගන්නා කළු සල්ලි (ෂැංග‍්‍රිලා හෝටල් ව්‍යාපෘතියෙන් සහ වරායෙන් උපයාගත් කළු සල්ලි) සුදු කරගැනීම සඳහා සමාගම් නීතිය සහ රූපවාහිනී විකාශන නීතිය අයථා පරිහරණයට යටත් කර ගනිමින් සිදු කරන ලද අයථා කි‍්‍රයාවයි.

ඉහතින් අප දක්වා සිටින්නේ ලංකාවේ මෙතෙක් කිසිවකු නොසිතූ ඉඩම් සම්බන්ධ නීතිය තම සිතැඟි පරිදි අයථා පරිහරණයට ලක් කිරීමට අදාළ විශ්ලේෂණයකි. එසේම මෙම ගනුදෙනුව තුළින් මතු වන අනෙක් කරුණ වන්නේ යෝෂිත රාජපක්ෂ මහතාගේ 80 වියැති මිත්තණියට ඉහත සඳහන් ආකාරයේ රුපියල් ලක්ෂ 495.2 වියදම් කිරීම සඳහා වත්කම් ලැබුණේ කෙසේද යන්නය. දැනට වාර්තා වී ඇති කරුණු අනුව ඇය කිසි දිනෙක ආදායම් බදු ගෙවා ඇති පුද්ගලයකු නොවේ. තමන්ට කියා කිසිදු හරිහමන් දේපළක් ද තිබුණු පුද්ගලයකු ද නොවේ.

– දයා නෙත්තසිංහ

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close